*දූෂිතයන්ට දඬුවම් දීමේ ව්‍යවස්ථා සංශෝධන කිසිසේත් ආපසු හරවන්නේ නැති බවට අවධාරණයක්
නීතිමය බාධා ඉවත් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට විපක්ෂ දේශපාලන පාර්ශ්ව නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාව නොමඟ යවා හෝ වපසරියක් තනාගෙන බලයේ රැඳී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් පාලනයට නොමැති බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ බේරුවල නගර කේන්ද්‍ර කරගනිමින් ඊයේ (06) පැවති ජනහමු අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ කාලසටහන සහ පාර්ලිමේන්තු එකඟතාව
පළාත් සභා මැතිවරණය දීර්ඝ කාලයක සිට ප්‍රමාද වීමට හේතු වී ඇති නීතිමය හා ක්‍රමවේදමය ගැටලු විසඳා ගැනීම සඳහා සියලු පාර්ලිමේන්තු පක්ෂවල පොදු එකඟතාව අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම නීතිමය පදනම සකස් වූ වහාම ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව පැවසීය.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත කාලසීමාවන් තුළ පවත්වා ඇති ආකාරයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට රජය නිරන්තරයෙන් බැඳී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වගවීම සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ
වරදක් සිදුවූ පසු ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අසීමිතව ප්‍රමාද වීමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පළුදු වන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, සිදුවීම් පිළිබඳ සමාජ මතකය පවතින කාලය තුළදීම වැරදිකරුවන්ට දඬුවම් ලැබිය යුතු බව අවධාරණය කළේය.
එම අරමුණ පෙරදැරිව ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධන සහ නීතිමය ප්‍රතිසංස්කරණ කිසිසේත් ආපසු නොහරවන බවත්, අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





