*දේශපාලන පළිගැනීම් සහ ඉදිරි ගොවි ජනතා රැලිය ඉලක්ක වූ බවට තර්කයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණු මුල්කරගත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, මෙම නඩු කටයුත්ත සඳහා පදනම් කරගෙන ඇති ප්‍රධාන සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බවයි. පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න සහභාගිත්වයෙන් පැවති මෙම හමුවේදී, අදාළ නීතිමය ක්‍රියාමාර්ගය සහ ඊට පාදක වූ සාක්ෂිවල ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කෙරිණි.
සාක්ෂිවල පරස්පරතා සහ අධිකරණ වාර්තා
2016 වසරේ ආරම්භ වූ බව කියන මෙම නඩු කටයුත්තේදී ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික නිමල් පෙරේරා විවිධ අවස්ථාවලදී පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බව ඩී.වී. චානක මෙහිදී පෙන්වා දුන්නේය.
"ඕනෑම නඩුවකදී සාක්ෂිය වගේම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය අතිශය තීරණාත්මකයි. එක් අවස්ථාවකදී රුපියල් මිලියන 50ක් දුන් බව පවසන සාක්ෂිකරු, තවත් අවස්ථාවකදී කිසිදු මුදලක් ලබා නොදුන් බව ප්‍රකාශ කරනවා. ඉන්පසුව නැවතත් මිලියන 100ක මුදලක් දුන් බව සඳහන් කළත්, ඊට අදාළ නිශ්චිත දින වකවානු හෝ මුදල් හුවමාරු වූ ආකාරය පිළිබඳ නිසි තොරතුරක් ඉදිරිපත් වී නැහැ," යනුවෙන් ඔහු සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, 2019 වසරේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව (අංක 195/16) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක නිලධාරීන් පවා මෙම සාක්ෂිකරුගේ ප්‍රකාශවල නිරවද්‍යතාව සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබූ බව සිහිපත් කළේය. එසේම, වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු සමඟ මෙම ව්‍යාපාරිකයා පවත්වන සබඳතා හේතුවෙන් මෙම නීතිමය ක්‍රියාමාර්ගය පිටුපස දේශපාලන මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවන බවද ඔහු කියා සිටියේය.
ගොවි අරගලය සහ විපක්ෂ මර්දන චෝදනාව
මෙම අත්අඩංගුවට ගැනීම හුදෙක් නීතිමය ක්‍රියාවලියකට එහා ගිය, එළඹෙන දේශපාලන ක්‍රියාමාර්ග ඉලක්ක කරගත් පියවරක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වී තිබේ.
විශේෂයෙන්ම රජය විසින් පොරොන්දු වූ පරිදි වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් නොලැබීමට එරෙහිව ගොවි ජනතාව සංවිධානය වෙමින් සිටින මොහොතක, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා රැලිය අඩපණ කිරීම මෙහි මූලික අරමුණක් බව චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
වත්මන් පාලනය යටතේ මතුව ඇති ආර්ථික පීඩනය, පොරොන්දු ඉටු නොවීම මෙන්ම ගල්අඟුරු සහ බහාලුම් (Containers) සම්බන්ධයෙන් එල්ල වන විවිධ අක්‍රමිකතා චෝදනා කෙරෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙවැනි පියවර භාවිත කරන බවටද ඔහු චෝදනා කළේය. කෙසේ වෙතත්, මෙවැනි අත්අඩංගුවට ගැනීම් හෝ පීඩනයන් හමුවේ සැලසුම් කළ ගොවි ජනතා විරෝධතා හෝ දේශපාලන වැඩපිළිවෙළ කිසිසේත් නතර නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරයි.




