*දේශපාලන මට්ටමේ කතාබස් අත්හළ ආණ්ඩුව යළිත් නිලධාරි සාකච්ඡාවලට සැරසෙද්දී, සීමා උල්ලංඝනයට තමිල්නාඩුවෙන් වන්දි ගෙවන බවට උතුරෙන් චෝදනා.
ඉන්දු-ලංකා ධිවර ගැටළුව සම්බන්ධයෙන් මේ මස අවසන් සතියේ දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන බවට සහතිකයක් එරට නියෝජිතයන්ගෙන් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් උතුරු පළාතේ ධීවර සංගම් නායකයෙක් සැක පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය පවසා තිබුනේ දෙරට අතර 'දීර්ඝ කාලයක් පුරා පවතින ධීවර ගැටලු ඇතුළු ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම' සඳහා ලබන 25 වැනිදා ශ්‍රී ලංකා නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි.
"විශේෂයෙන්ම, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන තහනම් පන්න ක්‍රමයක් වන පතුල් ඉරීමේ දැල් (Bottom Trawling) භාවිතා කරන ධීවර යාත්‍රා හේතුවෙන් උතුරු මුහුදු ප්‍රදේශයේ සාගර සම්පත් විශාල වශයෙන් හානිවෙමින් පවතින අතර, උතුරු ප්‍රදේශයේ ධීවරයන්ගේ රැකියාව සහ ජීවනෝපායද දැඩි ලෙස බලපෑමට ලක්වෙමින් පවතී."
නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව දැඩි ලෙස ආරක්ෂා කිරීම සම්බන්ධ කරුණු සඳහා දෙරට අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ප්‍රමුඛතාව ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය සැප්තැම්බර් 4 වැනිදා වැඩි දුරටත් නිවේදනය කර තිබුනි.
සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් ලැබෙයිදැයි සැකයි !
ඊට පසුදා උතුරු පළාත් ධීවර සම්මේලනයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක එන්. එම්. ආලම් මන්නාරමේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර සිටියේ එම සාකච්ඡාවේ මුලික අරමුණ ඉටු කර ගැනිමේ හැකියාවක් පවතීද යන්න සැක සහිත බවයි.
"එහෙට කතා කරන්න යන නිලධාරි කණ්ඩායමට ඉන්දීය ධීවරයින් ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වෙන්නේ නැහැ කියන සහතිකය ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් ඉන්දියාවෙන් ලබාගන්න පුළුවන් තත්වයක මේ සාකච්ඡාව තියෙයි ද කියන එකම ප්‍රශ්නයක් වෙලා තියෙනවා."
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පසුගියදා සදහන් කර තිබුනේ දෙරටේ නිලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡා වටයෙන් පසුව දෙරටේ ධීවර සංගම් අතර ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
"තහනම් ක්‍රම නතර කරන්නේ නැතිව ධීවර සාකච්ඡා බෑ"
උතුරු පළාත් ධීවර සම්මේලනයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක එන්. එම්. ආලම් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ නිලධාරීන් අතර යෝජිත සාකච්ඡාවෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවී දෙරටේ ධීවර සංගම් අතර සාකච්ඡා ඇරඹිමට නම් ඉන්දීය ධීවරයන්ට තහංචි පැනවීමට කටයුතු කරන ලෙසයි.
"මේ සාකච්ඡාවෙන් පස්සේ ධීවරයින් අතර සාකච්ඡාවක් කරනවා කියලා ධීවර ඇමති කිව්වා. එහෙම වුණත් අපි මේ සාකච්ඡාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් කියනවා ලංකාවේ මුහුදු සීමාවට එන ඉන්දීය, විශේෂයෙන් තමිල්නාඩු, පොන්ඩිචේරි පැතිවල ඉන්න ධීවරයින්ට අපේ ආණ්ඩුවෙන් තහනම් කරලා තියෙන ට්‍රෝලර් බෝට්ටු වගේ ක්‍රම තහනම් කරන්න ඕනේ. එහෙම තහනම් කරනවා නම් තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියන එක අපි දිගින් දිගටම අවධාරණය කරනවා."
සීමා පනින අයට තමිල්නාඩුවෙන් පඩි ගෙවනවාද?
මුහුදේ ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේදී අසල්වැසි රටවල නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තමිල්නාඩු ධීවරයන්ගේ පවුල් සඳහා ලබාදෙන දෛනික මූල්‍ය ආධාර මුදල වැඩි කිරීමට කටයුතු කරන බවට ධීවර කටයුතු පිළිබඳ තමිල්නාඩු අමාත්‍ය ආල්නාත් ශ්‍රීනාත් සැප්තැම්බර් 2 වැනිදා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රකාශ කර තිබුනි.
“බන්ධනාගාරගතව සිටින ධීවරයන්ගේ පවුල් ආරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රාන්ත රජය විසින් ලබාදෙන දෛනික ආධාර මුදල රුපියල් 500 සිට රුපියල් 600 දක්වා වැඩි කර ලබා දෙනු ඇත”
උතුරු පළාත් ධීවර සම්මේලනයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක එන්. එම්. ආලම් මන්නාරමේ දී පැවැති මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පෙන්වා දී තිබුනේ තමිල්නාඩු රජය මේ හරහා සිදු කර ඇත්තේ සිය මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මැරීම සදහා තමිල්නාඩු ධීවරයන්ට අනුබල දීමක් බවයි.
"ධීවර කටයුතුවලින්, ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරලා හිරේ ඉන්න ධීවරයන්ට කලින් ආණ්ඩුව ලබා දුන්න රුපියල් 500 රුපියල් 600 වෙනකම් වැඩිකරලා මාසයකට රුපියල් 18,000ක් කරන්න තීරණයක්, ඒ කියන්නේ අයවැයෙන් ලබා දෙන්න තමිල්නාඩු රජය තීරණය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේකේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නීති විරෝධී දෙයක් හේතුවෙන් අත්අඩංගුවට ගන්න ධීවරයින්ට එහෙම නැත්නම් කණ්ඩායමකට සල්ලිවලින් ආධාර දෙන එක පිළිගන්න පුළුවන් ද? ඒක කොහොමද පිළිගන්නේ? ජාත්‍යන්තර මට්ටමෙන් හරි අනිත් මට්ටමෙන් හරි වැරදිකරුවෙක් විදිහට පිළිගන්න කෙනෙක් හිරේ ඉන්දදී රටක් එහෙම නැත්නම් ප්‍රාන්තයක් මුල්‍ය ආධාරයක් දෙන එක කොහොමද හරි දෙයක් වෙන්නේ? ඒ කියන්නේ, එයාලා මේකට අනුබල දෙනවා ද?"
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් වූ හැටි
ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙමින් ධීවර ගැටළු සම්බන්ධයෙන් දෙරටේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් යෝජනා කොට සතියක් ගතවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුහුදු පතුල සූරාගෙන යන ඉන්දීය යාත්‍රා සම්බන්ධයෙන් දෙරට අතර දේශපාලන නායක මට්ටමේ සාකච්ඡා තවදුරටත් සිදු නොකර සිටීමේ ජාතික ජන බලවේග රජයේ ස්ථාවරය වෙනස් කිරීම විෂය භාර කැබිනට් අමාත්‍ය අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.
කොළඹ එක්දින නිල සංචාරයක නිරත වුනු ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ධීවරයන්ට අදාළ ගැටළු පිළිබඳව ද සාකච්ඡා කොට තිබුණු අතර, ශ්‍රී ලංකාවේ රඳවා සිටින ධීවරයින් සහ බෝට්ටු ඉක්මනින් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා සිටියේය.
“විවිධ ගැටළු විසඳීම සඳහා ද්විපාර්ශ්වික යාන්ත්‍රණයන් අඛණ්ඩව කටයුතු කරන අතරම, ධීවරයන්ගේ ජීවනෝපාය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මානුෂීය ප්‍රවේශයක් අපගේ ප්‍රවේශයට මඟ පෙන්විය යුතු බව ද ඔහු ඉල්ලා සිටියේය,” යි සංචාරය හමාරයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අගෝස්තු 5 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරේ ධීවරයන් සෑහීමකට පත්වන තිරසාර විසඳුමක් නොදී දිල්ලියේදී නිමාවුනු නරේන්ද්‍ර මෝදි හා අනුර දිසානායක මුල්ම රාජ්‍ය නායක සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් 2024 දෙසැම්බරයේ යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයට පත් කළේ සියළු සාකච්ඡා හමාර බවයි.




