*කලාපීය ආරක්ෂාව සහ ඩොලර් මිලියන 450ක ආධාර ව්‍යාපෘති සමාලෝචනයට රාජ්නාත් සිං ජනපති හමුවෙයි
ද්විපාර්ශ්වික සබඳතාවල තීරණාත්මක සංධිස්ථානයක්
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රමුඛ එරට ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් සැප්තැම්බර් 08 වනදා සිට 10 වනදා දක්වා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දෙරට අතර ආරක්ෂක, ආර්ථික, සාගරික සහ කලාපීය සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
මීට පෙර 2023 සැප්තැම්බර් මාසයේදීද රාජ්නාත් සිං ගේ මෙරට සංචාරයක් සැලසුම් කර තිබූ නමුත් අවසන් මොහොතේ එය කල් දැමිණි. ඒ අනුව, වත්මන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සම්ප්‍රාප්තිය කලාපීය ආරක්ෂක වටපිටාව සම්බන්ධයෙන් ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, කොළඹ වෙසෙන ඉන්දීය ප්‍රජාව මෙන්ම බත්තරමුල්ල පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා (IPKF) ස්මාරකය වෙතද ගෞරව දැක්වීමට සැලසුම් කර ඇත.
ආරක්ෂක ගිවිසුම් තුනක් සහ නව ප්‍රවේශය
දෙරටේ ආරක්ෂක අංශ අතර පවතින ආයතනික සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින්, මෙම සංචාරයේදී ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ නව අවබෝධතා ගිවිසුම් (MoUs) තුනකට එළඹීමට නියමිත බව වාර්තා වේ.
ඒ අතර ඉන්දීය නිෂ්පාදිත ගුවන් ආරක්ෂක අවි (Air-Defence Guns) ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ වන එකඟතාව විශේෂ අවධානයට ලක්ව තිබේ. ඊට අමතරව, දෙරටේ ශිෂ්‍යභට බලකායන් (Cadet Corps) අතර සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලය (National Defence College) ඉන්දීය ආරක්ෂක ආයතන සමග සමීපව බද්ධ කෙරෙන ඒකාබද්ධ අධ්‍යාපනික හා පුහුණු වැඩසටහන් දෙකක්ද ඊට ඇතුළත්ය. තාක්ෂණික හුවමාරුව, නඩත්තුව සහ දිගුකාලීන හමුදා පුහුණුව ඔස්සේ දෙරට අතර පවතින උපායමාර්ගික සම්බන්ධතාව වඩාත් තහවුරු කිරීමට මෙම පියවර ඉවහල් වන බව විචාරකයෝ පෙන්වා දෙති.
සංවර්ධන සහයෝගිතාව සහ යටිතල පහසුකම්
ආරක්ෂක කටයුතුවලට සමගාමීව සංවර්ධන ආධාර වැඩසටහන් කිහිපයක් පිළිබඳවද මෙම සංචාරයේදී සමාලෝචනය කෙරේ. විශේෂයෙන්ම 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියාව ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආධාර වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සහ ඒ යටතේ යළි ඉදිකළ ප්‍රධාන පාලම් තුනක් මාර්ගගත (Virtual) ක්‍රමවේදය ඔස්සේ විවෘත කිරීමද න්‍යාය පත්‍රයට ඇතුළත්ය. මෙය ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" (Neighbourhood First) යන ප්‍රතිපත්තිය තවදුරටත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමක් ලෙස සැලකේ.
භූ දේශපාලනික සමබරතාව හමුවේ රාජ්‍යතාන්ත්‍රික අභියෝගය
ඉන්දියානු සාගර කලාපයේ පවතින උපායමාර්ගික තරගකාරිත්වය හමුවේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක බල අරගලයකට මැදි නොවී නොබැඳි හා සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. ඉන්දියාව සිය සමීප සාගරික කලාපයේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටින අතරවාරයේ, මෙරට ප්‍රධාන සංවර්ධන සහ ආර්ථික හවුල්කරුවෙකු වන චීනයද ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වාගෙන යයි.
නව රජය බලයට පත්වීමෙන් පසු උපායමාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින්, කලාපීය බලවතුන්ගේ සහයෝගය ජාතික අවශ්‍යතා මත පදනම්ව ලබාගැනීම මෙහිදී වඩාත් වැදගත් සාධකයක් බවට පත්ව ඇත. එසේම, පාර්ලිමේන්තුව තුළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ (OCDS) ව්‍යුහය පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින පසුබිමක මෙම සංචාරය සිදුවීම දේශීය ආරක්ෂක ක්ෂේත්‍රයේද විශේෂ අවධානයක් දිනාගෙන තිබේ.
කොළඹට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම
අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසගේ ආරක්ෂාව සහ ප්‍රභූ ගමනාගමනය වෙනුවෙන් සැප්තැම්බර් 08 වනදා සිට 10 වනදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් රථවාහන කොට්ඨාසය දැනුම් දෙයි. ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා අවස්ථාවලදී අදාළ මාර්ගවල වාහන ගමනාගමනය කඩින් කඩ සීමා කෙරේ.
| සැප්තැම්බර් 08: පස්වරු 1.30ට කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ වරාය පරිශ්‍රය සහ එන්.එස්.ඒ. වටරවුම ඔස්සේ ටාජ් සමුද්‍රා හෝටලය දක්වාත්, රාත්‍රී 8.00 සිට 9.00 දක්වා හෝටලයේ සිට කුරුඳුගවත්ත ඉන්දියන් හවුස් දක්වාත් ගමන් මාර්ගය ආශ්‍රිතව රථවාහන සීමා කෙරේ.
| සැප්තැම්බර් 09: පෙරවරු 9.50 සිට 11.25 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද, පස්වරු 2.00 සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය, ආරක්ෂක අමාත්‍යාංශය (අකුරගොඩ), පාර්ලිමේන්තු පරිශ්‍රය සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත ප්‍රධාන මාර්ගවලද රථවාහන ධාවනය අවස්ථානුකූලව පාලනය කෙරේ.
| සැප්තැම්බර් 10: පෙරවරු 9.00 සිට 9.10 දක්වා හෝටලයේ සිට වරාය හෙලිපෑඩ් පරිශ්‍රය දක්වා මාර්ග සීමා කිරීම් ක්‍රියාත්මක වනු ඇත.
මෙම රථවාහන සීමා කිරීම් හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පොලීසියට සහාය දක්වන ලෙසත් රථවාහන කොට්ඨාසය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.




