ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර ශ්‍රී ලංකා - ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරුන් ඩිලි නුවරදී (Dili, Timor-Leste) නුවරදී හමුවෙයි
ශ්‍රී ලංකාවේ ක්ෂය රෝග මර්දන වැඩසටහන වඩාත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ තාක්ෂණික දායකත්වය අඛණ්ඩව ලබාදීමට ඉන්දීය රජය සිය එකඟතාව පළ කර තිබේ. ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට සමගාමීව, ශ්‍රී ලංකා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා (Jagat Prakash Nadda) යන මහත්වරුන් අතර පැවති විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
අසීරු අවස්ථාවල ලබාදුන් සහයට කෘතඥතාව
දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් පැවති මෙම හමුවේදී, පසුගිය කාලසීමාවන්හිදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී ඉන්දීය රජය ලබාදුන් නොමසුරු සහයෝගය සහ මිත්‍රත්වය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස, ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය. ඖෂධ සැපයුම් සහ හදිසි සෞඛ්‍ය ආධාර සම්බන්ධයෙන් කලාපීය වශයෙන් ඉන්දියාව දැක්වූ මැදිහත්වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.
ක්ෂය රෝග මර්දනයට ඉන්දීය තාක්ෂණය
ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මේ වන විට ක්‍රියාත්මක සැලසුම් සහගත වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළ දෙපාර්ශ්වය, විශේෂයෙන් ක්ෂය රෝග මර්දන (TB Control) වැඩසටහන් කඩිනම් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කළහ. ඉන්දියාව මෑත කාලීනව ක්ෂය රෝග මර්දනය වෙනුවෙන් හඳුන්වා දුන් සාර්ථක ඩිජිටල් නිරීක්ෂණ පද්ධති, නවීන රෝග විනිශ්චය ක්‍රමවේද සහ ප්‍රතිකාර ආකෘතීන් පිළිබඳ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව බෙදාගැනීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පූර්ණ එකඟතාව පළ කර ඇත.
ග්‍රාමීය ප්‍රාථමික සෞඛ්‍ය ජාලය ශක්තිමත් කිරීම
මීට අමතරව, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් ග්‍රාමීය මට්ටමින් ජනතාව වෙත ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. අඩු වියදමකින් වැඩි ජනතාවකට ප්‍රාථමික සත්කාර සැලසීම සඳහා දෙරට සතු ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමත්, බෝ නොවන රෝග පාලනය වෙනුවෙන් ප්‍රාථමික මට්ටමේ මැදිහත්වීම් වැඩිදියුණු කිරීමත් මෙම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන් ඇතුළු උසස් නිලධාරීන් එක්ව සිටි අතර, ඉන්දීය රජය නියෝජනය කරමින් එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.





