ග්‍රාමීය ආර්ථිකය හා මහජන සෞඛ්‍ය මුහුණ දෙන අභියෝග පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට
රටේ පවතින ඉහළ ජීවන වියදම, ග්‍රාමීය ආර්ථික අර්බුදය මෙන්ම රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. රජය විසින් ප්‍රකාශයට පත් කරන ඇතැම් ආර්ථික හා සුබසාධන සහන බිම් මට්ටමේදී සැබෑ ලෙස ක්‍රියාත්මක නොවන බවත්, ඒ පිළිබඳව පුළුල් අවධානයක් යොමු විය යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ග්‍රාමීය ආර්ථිකය හා වී ගොවියාගේ අර්බුදය
වත්මන් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම ගොවි ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය. විශේෂයෙන් පොහොර සහනාධාරය නිසි වේලාවට නොලැබීම සහ පෞද්ගලික අංශයෙන් ඉහළ මිලකට පොහොර මිලදී ගැනීමට සිදුවීම නිසා නිෂ්පාදන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
වී සඳහා රුපියල් 150ක පමණ සහතික මිලක් ලබාදෙන බවට මීට පෙර ප්‍රකාශ වුවද, වර්තමානයේදී තෙත වී කිලෝවක් රුපියල් 80-85ත්, වියළි වී කිලෝවක් රුපියල් 90-95ත් වැනි අවම මිලකට අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එසේම දේශීය ගොවියාගේ අස්වැන්න සුරක්ෂිත කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන පසුබිමක, මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනින් සහල් ආනයනය කිරීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් කඩා වැටී ඇති බවද ඔහු චෝදනා කළේය.
මීට අමතරව පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව පහත වැටීම නිසා ග්‍රාමීය ප්‍රදේශ රැසක පානීය ජල හිඟයක් නිර්මාණය වී ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කෙරිණි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සහ ඖෂධ හිඟය
මහජන සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, රෝහල් පද්ධතිය තුළ ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධවල පවතින හිඟය කඩිනමින් විසඳිය යුතු බව ප්‍රකාශ කළේය. අඩු ආදායම්ලාභී ජනතාව රජයේ රෝහල් මත දැඩිව යැපෙන බැවින්, රෝහල් වෙත අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම සහ පළාත් පාලන ආයතන මට්ටමින් ඒ සඳහා විධිමත් පාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී මතු කළේය. පොදු ජනතාවගේ දෛනික පීඩනය සමනය වන පරිදි රෝහල්වලට අවශ්‍ය ඖෂධ සම්පාදනය සහ ජීවන වියදම පාලනය කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ළමා අයිතිවාසිකම් සහ සයිබර් ආරක්ෂාව
සමාජ මාධ්‍ය අවකාශය තුළ ළමුන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද අවධානය යොමු කළ මන්ත්‍රීවරයා, ළමුන්ට එරෙහිව සිදුවන සයිබර් අපරාධ (Cybercrimes against children) වැළැක්වීම සඳහා නීති රීති කඩිනමින් දැඩි කළ යුතු බව සඳහන් කළේය. අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ අකටයුතුකම් හා අපහාසාත්මක ප්‍රවණතාවලින් අනාගත පරපුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු ආයතනවල සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.




