*මහාධිකරණ විනිසුරුවරයා දුන් තොරතුරකින් අධිකරණ සේවකයෙකු රිමාන්ඩ්: තවත් දෙදෙනෙකු ගැන පරීක්ෂණ
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකදී විනිසුරුවරයා ලවා ලිහිල් හෝ අත්හිටවූ සිර දඬුවමක් ලබාදෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ හතහමාරක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු (ආරච්චි) සැප්තැම්බර් 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජී.ඒ. චරිත් කුමාර නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
විනිසුරුවරයා කළ පැමිණිල්ලෙන් ඇරඹි විමර්ශනය
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, සැකකාර කාර්යාල සහයකවරයා අදාළ මහාධිකරණ විනිසුරුවරයා වෙත පෞද්ගලිකව දුරකථන ඇමතුමක් ලබාදී විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව කතා කිරීමට උත්සාහ කර ඇති බවයි.
එම අවස්ථාවේදී විනිසුරුවරයා දැඩි ස්ථාවරයක පිහිටමින්, "මා සමඟ නඩු ගැන කතා කරන්න ඔබට ඇති අයිතිය කුමක්ද?" යනුවෙන් විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් සැකකරු පවසා ඇත්තේ මේ පිළිබඳව අධිකරණයේදී කතා කළ නොහැකි බවත්, පෞද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්ය. විනිසුරුවරයාගේ දැඩි ප්‍රතිචාරයත් සමඟ සැකකරු කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළද, විනිසුරුවරයා වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි.
වට්ස්ඇප් සංවාද සහ බැංකු ගිණුම්ගත කිරීම්
අල්ලස් කොමිසම සිදුකළ මූලික විමර්ශනවලදී සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එහිදී සරණ ගුණවර්ධන ගේ බිරිඳ සමඟ ඔහු වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් දිගින් දිගටම සංවාද පවත්වා ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු සතුව තිබූ රිසිට්පත් සහ දුරකථන දත්ත අනුව රුපියල් 750,000 ක මුදලක් වරින් වර ගිණුම්ගත කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. මෙහිදී ඉදිරිපත් වූ කරුණු අනුව, අදාළ මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගත් බව කියන කොළඹ මහාධිකරණයේ පොත් බැඳුම්කරුවෙකු වන ධනුෂ්ක නමැත්තෙකු කැඳවා ඒ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටි බවද අල්ලස් කොමිසම පැවසීය. ඊට අමතරව, සිද්ධියට සම්බන්ධ බව කියන අත්තනගල්ල අධිකරණයේ ලේඛකාධිකාරීවරයෙකු (රෙජිස්ට්‍රාර්) සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
විත්තියේ තර්කය සහ අධිකරණ නියෝගය
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා මෙවැනි අක්‍රමික ගනුදෙනුවක් සිදුවන බව විනිසුරුවරයාට දැනුම් දී ඉන් සිදුවිය හැකි අපවාදයෙන් විනිසුරුවරයා ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ බවයි. එසේම වට්ස්ඇප් පණිවිඩවල සඳහන් බැංකු ගිණුම සැකකරුගේ නොවන බවත්, සිද්ධිය සංකීර්ණ ස්වභාවයක් ගන්නා බැවින් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සිද්ධියට ඈඳී ඇති මහාධිකරණ පොත් බැඳුම්කරු සහ අත්තනගල්ල අධිකරණ ලේඛකාධිකාරීවරයා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ලබන 22 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී එහි වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා 18කට වරදකරු කරමින් සරණ ගුණවර්ධන ට කොළඹ මහාධිකරණය මගින් පසුගියදා වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර කළේය.




