*ජිනීවා යාවත්කාලීන වාර්තාව සහ මැතිවරණ පොරොන්දු ඉටුකිරීම ගැන සුමන්තිරන්ගෙන් නිවේදනයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසියේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත යාවත්කාලීන වාර්තාව පිළිගන්නා බව ඉලංගෙයි තමිළ් අරසු කච්චි (ITAK) පක්ෂය පවසයි.
පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්. ඒ. සුමන්තිරන් ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වගවීම, උතුරු නැගෙනහිර හමුදා භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශන, දේශපාලන සිරකරුවන් මුදාහැරීම සහ චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ පරීක්ෂණ ආදී කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව ජිනීවා වාර්තාවෙන් පළ කර ඇති කනගාටුව තමන්ද අනුමත කරන බවයි.
පළාත් සභා මැතිවරණය සහ ජනතා අපේක්ෂා
දීර්ඝ කාලයක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ජිනීවා වාර්තාවේ සඳහන් කර තිබීම කෙරෙහිද දෙමළ ජාතික සන්ධානය සිය අවධානය යොමු කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පළාත් සභා සක්‍රීයව පැවතීමේ අවශ්‍යතාව දෙමළ දේශපාලන පක්ෂ නිරන්තරයෙන් අවධාරණය කරනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ අවධානය ඊට යොමුවීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස ඔවුහු දකිති.
දූෂණ විරෝධී පියවරට ප්‍රශංසාව
වත්මන් රජය විසින් අල්ලස හා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවද එම නිවේදනයේ සඳහන් වේ. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ගෙන යන එවැනි සාධනීය ප්‍රයත්නයන් අගය කරන බව පක්ෂය පෙන්වා දෙයි.
මැතිවරණ පොරොන්දු සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
කෙසේ වෙතත්, ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් දෙමළ ජනතාව මුහුණ දෙන මූලික ගැටලු විසඳීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව පවසමින් පක්ෂය සිය කනගාටුව පළ කර සිටියි.
දෙමළ ජනතාවගේ ඓතිහාසික අපේක්ෂාවන් සහ අභිලාෂයන් නියෝජනය වන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ලබාදුන් ප්‍රධාන ප්‍රතිඥාව ඇතුළු මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීමට කටයුතු කරන ලෙස ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.





