නීතිඥ දැනුම්දීම හමුවේ ස්වාධීන රූපවාහිනිය පුවත නිවැරදි කිරීමේ පියවරක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ විසින් පුද්ගලයන් තිදෙනකු යොදවා අක්කර 135ක තේ වත්තක් අත්පත් කරගෙන ඇති බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම පියවර ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටත් ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමටත් සැප්තැම්බර් 14 වැනිදා පෙරවරු 9ට කොළඹ පොලිස් මූලස්ථානය හමුවේ පෙනී සිටින ලෙස එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර වෙත ලිඛිතව දැනුම් දී ඇත.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පසුගිය අගෝස්තු 20 වැනිදාය.
එම පැමිණිල්ල විභාග කිරීම සඳහා විමර්ශන අංශය තීරණය කර ඇති බවත්, ඊට අදාළව සවිස්තර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සහ සාක්ෂි ලේඛන පරීක්ෂා කිරීම සඳහා පැමිණිලිකරු පොලිස් මූලස්ථානයට කැඳවා ඇති බවත් එම කොට්ඨාසය යොමු කළ නිල ලිපියේ සඳහන් වේ.
මාධ්‍ය ආයතන වෙත යොමු වූ එන්තරවාසිය
'පුරවැසි බලය' සංවිධානය විසින් මෙම පැමිණිල්ල අගෝස්තු මස 20 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ පාර්ශ්වය මාධ්‍ය හමුවේ සිදුකළ සාවද්‍ය ප්‍රකාශ හරහා තමන්ට බරපතල අගතියක් වී ඇතැයි සඳහන් කරමින්, ප්‍රකට මුස්ලිම් ව්‍යාපාරිකයකු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ඇතුළු මාධ්‍ය ආයතන වෙත එන්තරවාසියක් යොමු කර තිබිණ. සනත් විජේවර්ධන ඇසෝසියේට්ස් (Sanath Wijewardane Associates) නීතිඥ සමාගම මඟින් යොමු කර ඇති එම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ අදාළ චෝදනා මුළුමනින්ම අසත්‍ය, නොමඟ යවන සුළු සහ අපහාසාත්මක බවයි.
නිසි සොයා බැලීමකින් තොරව නිර්නාමික ලිපියක් පදනම් කරගනිමින් මෙවැනි පුවතක් විකාශය කිරීමෙන් සිය සේවාදායකයාගේ ව්‍යාපාරික කීර්තිනාමයට සහ සමාජ තත්ත්වයට බරපතළ හානියක් සිදුව ඇති බව එමඟින් අවධාරණය කෙරේ. එසේම අදාළ පුවත මඟින් ජනවාර්ගික හෝ ආගමික අනන්‍යතාව අනවශ්‍ය ලෙස ඉස්මතු කරමින් සමාජීය බෙදීම් ඇති කිරීමට ඉඩ සලසා ඇති බවට ද එහි දැක්වේ.
නීතිමය තත්ත්වය සහ පුවත නිවැරදි කිරීම
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 122 වගන්තිය උපුටා දක්වන අදාළ එන්තරවාසිය, අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු සැපයීම වසර හතක් දක්වා සිරදඬුවම් හෝ රුපියල් මිලියනයක දඩයකට යටත් විය හැකි වරදක් බව පෙන්වා දෙයි. ඊට අමතරව, අදාළ ඉඩම සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවතින පසුබිමක මෙවැනි කරුණු ප්‍රචාරය කිරීම නීතිමය ක්‍රියාදාමයට සිදුකරන මැදිහත්වීමක් බව ද එමඟින් පෙන්වා දී තිබේ.
ඒ අනුව ඩිජිටල් අවකාශයෙන් සහ සමාජ මාධ්‍යවලින් අදාළ අන්තර්ගතයන් වහාම ඉවත් කරන ලෙසත්, කරුණු නිවැරදි කිරීමක් සිදුකරන ලෙසත් එහි වැඩිදුරටත් ඉල්ලා ඇත. මෙම එන්තරවාසිය ලැබීමෙන් පසු ස්වාධීන රූපවාහිනී නාලිකාව එම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පුවත නිවැරදි කිරීමට පියවර ගෙන තිබිණ.




