විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ධුරය, බැංකු ගිණුම් විමර්ශන සහ ඇප ප්‍රතික්ෂේප වීමේ නීතිමය පසුබිම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම්වරයකු මෙන්ම නව ජනතා පෙරමුණේ නායකයා ද වන සුගීෂ්වර බණ්ඩාර ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (09) නියෝග කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවමින් රුපියල් කෝටි 22කට අධික රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් විය.
බැංකු ගිණුම් හරහා සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ 1982 අංක 12 දරන පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන බරපතළ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි.
විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැටුප බැර වූ සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමට වරින් වර රුපියල් ලක්ෂ 50, ලක්ෂ 30 සහ ලක්ෂ 20 බැගින් මුදල් තැන්පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය. මෙම අසාමාන්‍ය මුදල් ලැබීම්වල නීත්‍යනුකූලභාවය සහ මුල් මූලාශ්‍ර සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීන්, ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
විත්තියේ තර්කය සහ සෞඛ්‍ය හේතු
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය. සැකකරු ‘සෙලියුලයිටිස්’ (Cellulitis) රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බවත්, එම තත්ත්වය හේතුවෙන් ඔහුගේ ජීවිතයට අවදානමක් මෙන්ම පිළිකා අවදානමක් පවතින බවත් විත්තිය වෙනුවෙන් සඳහන් කෙරිණි. ඊට අදාළව ඔහු මීට පෙර රෝගීව සිටි අවස්ථාවක ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එසේම, ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකකින් වැටුප් ලබා ගත් බවට නගන චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපති නීතිඥවරයා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සමයේ ලේකම් ධුරයෙන් වැටුපක් ලබා නොගත් බව මහාධිකරණයේදී පැමිණිල්ල පිළිගෙන ඇති බව සිහිපත් කළේය. බැංකු ගිණුමට බැර වූ මුදල් සම්බන්ධයෙන් පැහැදිලි කළ විත්තියේ නීතිඥවරයා, එම මුදල් අදාළ චෝදනාවට සම්බන්ධද නැතහොත් වෙනත් ව්‍යාපාරික හෝ පෞද්ගලික ගනුදෙනුවක්ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති පසුබිමක, විමර්ශන අවසන් කිරීමට පෙර පුද්ගලයකු දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම වැරදි පූර්වාදර්ශයක් බව පෙන්වා දුන්නේය.
සුවිශේෂී කරුණු රහිත වීම සහ අධිකරණ නියෝගය
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රෝගී තත්ත්වයට අදාළව නිල වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන්නේය. චෝදනා ගොනු කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ බැවින්, සැකකරුවකුට ඇප ලබා දීමට නම් නීතියෙන් පිළිගත් සුවිශේෂී කරුණු තහවුරු විය යුතු නමුත් මෙම අවස්ථාවේදී එවැනි සුවිශේෂී තත්ත්වයක් අනාවරණය වී නොමැති බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
ඒ අනුව, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකාර සුගීෂ්වර බණ්ඩාර ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කිරීමටත් නියෝග කළේය.




