ලිඛිත දේශන කැඳවමින් නඩුව ඔක්තෝබර් 29 වැනිදාට කල් තැබේ
2025 වසරේ වෙසක් පොහොය දින ජනාධිපති පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලියට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකු අනීතික ලෙස නිදහස් කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියට එරෙහි නඩුවේ දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය මූලික විරෝධතාවක් මතු කරමින් සැකකරු නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර, කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කරමින් නඩුව ලබන ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
"ජනාධිපතිවරයාට කිසිදු සම්බන්ධයක් නෑ"
අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ, අදාළ කාලසීමාවේදී සිරකරුවන් නිදහස් කිරීමට අදාළව බන්ධනාගාර අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිල ලේඛනයේ නම සඳහන් නොවූ පුද්ගලයකු නිදහස් කිරීම මුල් කරගෙන මෙම පරීක්ෂණ ආරම්භ වූ බවයි.
මෙම සිද්ධිය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිර ගිය අතර, රාජ්‍ය නායකත්වයට ද ඒ හරහා අසත්‍ය චෝදනා එල්ල වූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශ සිදු කළ දීර්ඝ විමර්ශනවලදී මෙම සිද්ධියට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් හෝ මැදිහත්වීමක් නොමැති බව පැහැදිලිවම අනාවරණය වී ඇතැයි ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අවධාරණය කළේය.
පරිපාලනමය ක්‍රමවේදය සහ වාර්තා කැඳවීම
අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරියගේ දැනුම්දීමට අනුව එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ සැකකරු විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවූ බව විත්තියේ නීතිඥවරයා සිහිපත් කළේය.
එම වාර්තාවන්ට අනුව, නිල වශයෙන් අනුමත වූ ලැයිස්තුවට අමතරව චක්‍රලේඛ ප්‍රතිපාදන සහ සුදුසුකම් මත පදනම්ව සමාව ලබාදීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වී තිබූ බවත්, පැවති හදිසි තත්ත්වය සහ පීඩනය හමුවේ පරිපාලන නිලධාරියකු ලෙස සැකකරුට රාජකාරිමය තීන්දු ගැනීමට සිදුවූ බවත් අධිකරණයට ප්‍රකාශ විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා 2025 ජුනි මස මුල් සතියේදී ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයකු ද පත් කර තිබිණි.
"අපරාධ චේතනාවක් නෑ - පරිපාලනමය නොසැලකිල්ලක්"
විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා වැඩිදුරටත් තර්ක කළේ, මෙම සිදුවීමේදී තම සේවාදායකයා වෙත කිසිදු අපරාධමය චේතනාවක් (mens rea) හෝ පෞද්ගලික වාසියක් තකා කටයුතු කිරීමේ අරමුණක් නොතිබූ බවයි. සිදුව ඇත්තේ පරිපාලනමය ක්‍රියාවලියේදී ඇති වූ නොසැලකිලිමත්භාවයක් හෝ වරදවා වටහා ගැනීමක් පමණක් බැවින්, සැකකරුට එරෙහිව අපරාධ නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නීතිමය සාක්ෂි නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව මූලික විරෝධතාව මත තම සේවාදායකයා නඩුවෙන් නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළ වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළහ.
දෙපාර්ශ්වයේම මූලික කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මතු කර ඇති නීතිමය කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කරමින් වැඩිදුර විභාගය ඔක්තෝබර් 29 වැනිදාට නියම කළේය.




