ඉදිරි අවිනිශ්චිතතාවලට මුහුණ දීමට ආර්ථික බෆර ශක්තිමත් කිරීමේ නව මූලධර්ම 4ක් එළියට
ගෝලීය මූල්‍ය පද්ධතිය තුළ මතුවෙමින් පවතින දැඩි අවිනිශ්චිතතා මධ්‍යයේ, රටක විදේශ සංචිත යනු හුදු ශේෂ පත්‍රයක පවතින මූල්‍ය වත්කම් පමණක් නොව බාහිර කම්පනවලින් ආර්ථිකය ආරක්ෂා කරන පළමු පවුර බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පවසයි.
කොළඹදී ආරම්භ වූ "සංචිත කළමනාකරණ සමුළුව 2026" (Reserve Management Conference 2026) අමතමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ, සංචිත ගොඩනැගීමේ සැබෑ අරමුණ අර්බුදයක් පැමිණෙන තෙක් බලා සිටීම නොව, මීළඟ අර්බුදය කවදා කෙසේ එන්නේදැයි කිසිවෙකුටත් අනාවැකි පළ කළ නොහැකි වීම බවයි.
අර්බුදයකදී වටිනාම දේ ‘කාලයයි’
විදේශීය සංචිත ශක්තිමත්ව පැවතීම මගින් අර්බුදකාරී මොහොතක ප්‍රතිපත්ති සම්පාදකයින්ට තීරණ ගැනීමටත්, වෙළඳපොළවල් ස්ථාවර වීමටත් අවශ්‍ය "කාලය" (Time) හිමිවන බව අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එමගින් ආර්ථිකය දැඩි වේදනාකාරී කඩාවැටීමකට ලක් නොවී සමතුලිත කරගැනීමට අවකාශය ලැබේ.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අත්දැකීම් සිහිපත් කළ මහ බැංකු අධිපතිවරයා , බාහිර සංචිත පහළ වැටීම හුදෙක් මහ බැංකුවේ ගිණුම්වලට පමණක් නොව ආනයන සීමාවීම්, උද්ධමනය ඉහළ යාම සහ ණය සේවාකරණ අර්බුද ඔස්සේ සමස්ත ජන ජීවිතයටම ඍජුව බලපෑ ආකාරය පෙන්වා දුන්නේය.
පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක කළ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හේතුවෙන් බාහිර අංශය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, සංචිත රැස්කිරීම රේඛීය ක්‍රියාවලියක් නොවන බවත්, හිතකර පරිසරයකදී එක්රැස් වන සංචිත බාහිර කම්පනයකින් ක්ෂණයකින් දියවී යා හැකි බවත් ඔහු මතක් කර දුන්නේය.
සාම්ප්‍රදායික ආයෝජන සීමාවෙන් ඔබ්බට
සාම්ප්‍රදායිකව සංචිත කළමනාකරණය සුරක්ෂිතතාව, ද්‍රවශීලතාව සහ අස්වැන්න යන ත්‍රිත්වය මත පදනම් වුවද, වර්තමාන ලෝකය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ වී ඇත. භූ-දේශපාලනික බල අරගල, වෙළඳ සම්බාධක සහ සැපයුම් මාර්ග කඩාවැටීම් ආයෝජන තීරණවලට ඍජුව බලපාන බැවින්, භූ-දේශපාලනික අවදානම් තවදුරටත් බාහිර සාධකයක් ලෙස බැහැර කළ නොහැකි බව අධිපතිවරයා පැවසීය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේදී ඇමෙරිකානු ඩොලරය තවමත් ප්‍රමුඛ ස්ථානයක් ගත්තද, තනි මුදල් ඒකකයක් මත පමණක් යැපීම අවදානම් සහගත බව මහ බැංකු හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, විවිධාංගීකරණය සිදු කළ යුත්තේ හුදු විලාසිතාවකට නොව, අර්බුදයකදී ක්ෂණිකව භාවිතයට ගත හැකි "ද්‍රවශීලතාව" සුරකිමින් බවද හෙතෙම පෙන්වා දුන්නේය. රත්තරන් (Gold) සහ ඩිජිටල් වත්කම් පිළිබඳ උනන්දුවක් පැවතියද, ඒවායේ ද්‍රවශීලතා සීමාවන් සැලකිල්ලට ගනිමින් තීන්දු ගත යුතු බව ඔහුගේ අදහස විය.
කෘතිම බුද්ධිය ආදේශකයක් නොවේ
නූතන මූල්‍ය ලෝකයේ භාවිත වන කෘතිම බුද්ධිය (AI) සහ දත්ත ආකෘති පිළිබඳවද අදහස් දැක්වූ ආචාර්ය වීරසිංහ, තාක්ෂණය මගින් අවිනිශ්චිතතාව සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකි බව සඳහන් කළේය. අතීත දත්ත මත පදනම් වූ ඇල්ගොරිතම නව ව්‍යූහාත්මක කම්පන හමුවේ අසාර්ථක විය හැකි බැවින්, AI භාවිත කළ යුත්තේ නිලධාරීන්ගේ තීරණ ගැනීමේ හැකියාව පුළුල් කිරීමට මිස, මිනිස් විචාර බුද්ධිය වෙනුවට ආදේශ කිරීමට නොවන බව ඔහු අවධාරණය කළේය.
සංචිත කළමනාකරණයේ නව මූලධර්ම 4
ඉදිරි අනාගතය වෙනුවෙන් ප්‍රධාන මූලධර්ම හතරක් අනුගමනය කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ප්‍රශස්තකරණයට පෙර ප්‍රමාණවත්බව (Adequacy before optimization):
වැඩි ලාභයක් සෙවීමට පෙර, මුහුණ දීමට සිදුවන අවදානමට සරිලන පරිදි සංචිත ප්‍රමාණවත්දැයි තහවුරු කර ගැනීම.
අරමුණු සහිත විවිධාංගීකරණය (Purposeful diversification):
සංකීර්ණත්වය වැඩි කර නොගෙන, ද්‍රවශීලතාව සුරැකෙන පරිදි වත්කම් විවිධාංගීකරණය කිරීම.
භූ-දේශපාලනික අවදානම් ගණනය කිරීම (Integrating geopolitical risk):
සම්බාධක, නීතිමය සීමා සහ වෙළඳපොළ පිවිසුම් අවහිරතා ආයෝජන සැලසුම්වලට ඇතුළත් කිරීම.
ගතික සංචිත කළමනාකරණය (Dynamic reserve management):
ලෝකයේ වෙනස් වන පොලී අනුපාත, තාක්ෂණය සහ වෙළඳ රටාවන්ට ගැළපෙන පරිදි කළමනාකරණ රාමුව නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම.
ණය ගැනීමෙන් හෝ කෘත්‍රිමව වෙළඳපොළ පාලනය කිරීමෙන් තොරව, ස්වාභාවිකවම විදේශ විනිමය උපයන සහ රඳවා ගන්නා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම දිගුකාලීන ස්ථාවරත්වයට ඇති එකම තිරසාර මඟ බව පෙන්වා දෙමින් අධිපතිවරයා සිය දේශනය නිමා කළේය.
(සටහන | ජේ. මුණසිංහ )




