*‘ලිබර්ටි කොමොඩිටීස්’ සමාගමට එරෙහිව බේරුම්කරණය ජයග්‍රහණය කළ බවත්, හිඟ මුදල් අය කරගැනීම රජයේ වගකීමක් බවත් අවධාරණය කෙරේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී 2009 සිට 2016 දක්වා කාලය තුළ රුපියල් කෝටි 414 කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට විගණකාධිපති වාර්තාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි කරළියට පැමිණීමත් සමඟ, එම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.
තමන් සභාපති ධුරය දැරූ සමයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 1.57 ක අලාභය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සාහ ගන්නා බව පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා, සැබවින්ම සිදුවූයේ අදාළ සමාගම සිදුකළ වංචාව තමන් විසින් හෙළිදරව් කරගෙන ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බව අවධාරණය කරයි.
විගණනයෙන් සහ කොමිසමෙන් හෙළි වූ කරුණු
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීමකට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කළ විශේෂ විගණන වාර්තාවකට අනුව, 2009–2016 වසර හතක කාලය තුළ ගල්අඟුරු ප්‍රසම්පාදනයේ පැවති දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක්, අලාභයක් සහ අතිරේක වියදමක් සිදුව ඇත.
එමෙන්ම 2015–2016 වකවානුවේ ‘ලිබර්ටි කොමොඩිටීස්’ (Liberty Commodities) සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමේ ගල්අඟුරු ප්‍රමාණය සහ බර (Size Consists) පිළිබඳ පිරිවිතරයන් වෙනස් කිරීම හේතුවෙන් සැපයුම්කරුගෙන් අය කරගත හැකිව තිබූ ඩොලර් 1,575,630 ක දඩ මුදලක් (Surcharges) අහිමි වූ බවට විදුලිබල අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබිණි.
"වංචාව හෙළිකර ණයවර ලිපි අවහිර කළේ අපි" – මෛත්‍රී ගුණරත්න
මෙම ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න සඳහන් කරන්නේ, ලිබර්ටි කොමොඩිටීස් සමාගම ගිවිසුම් කොන්දේසි වෙනස් කරමින් සිදුකළ වංචනික ක්‍රියාව මුලින්ම හඳුනාගත්තේ ලංකා ගල්අඟුරු සමාගම විසින් බවයි.
එම අනාවරණයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ තමන්, අදාළ සමාගමේ ණයවර ලිපි (Letters of Credit) මුදල් කරගැනීම වැළැක්වූ බවත්, ඉන් නොනැවතී එම සමාගම අසාදු ලේඛනගත කරමින් ඉදිරි ප්‍රසම්පාදනවලට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම එම අධ්‍යක්ෂ මණ්ඩලය වෙනත් නම්වලින් පෙනී සිටිමින් ලංසු තැබීමට දැරූ උත්සාහයන් ද ව්‍යර්ථ කළ බව හෙළි කරයි.
බේරුම්කරණ නඩුවේ තීන්දුව සහ වත්මන් වගකීම
අදාළ විදේශ සමාගමේ ක්‍රියාකලාපයට එරෙහිව සිය ධුර කාලය තුළදීම ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට (Arbitration) යොමු වූ බව සිහිපත් කරන මෛත්‍රී ගුණරත්න, එම නඩු තීන්දුව ලංකා ගල්අඟුරු සමාගමට වාසිදායක ලෙස ලැබුණු බවත්, බස්නාහිර පළාත්බද වාණිජ මහාධිකරණය මඟින් ද එම තීන්දුව තහවුරු කළ බවත් සඳහන් කරයි.
2017 ජනවාරි මාසයේදී තමන්ව එම ධුරයෙන් ඉවත් කළ ද, ඉන්පසු පත්වූ සභාපතිවරුන් ද එම මුදල් අයකර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇති බව පෙන්වා දෙන මෛත්‍රී ගුණරත්න, අදාළ මුදල් අයකර ගැනීම හා 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ එම සමාගමට එරෙහිව ඉදිරි පියවර ගැනීම වත්මන් රජයේ වගකීමක් බව ද අවධාරණය කරයි.
ඩොලර් මිලියන 85ක ඉතිරියක් කළ හැටි
තමන් සභාපති ධුරය දැරූ යහපාලන සමයේ වසර දෙකක කාලය තුළ ගල්අඟුරු බෑමේ බත්තල් ගාස්තු, නැව් ගාස්තු සහ කළමනාකරණ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කරමින් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 85 කට අධික මුදලක් ඉතිරි කර දීමට කටයුතු කළ බව හිටපු සභාපතිවරයා පවසයි. එසේම නොරොච්චෝලේ බලාගාරයේ පාරිසරික ගැටලුවක්ව පැවති අළු අපතේ යාම වළක්වා ඒ ආශ්‍රිතව ගඩොල් නිපදවීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළ බව ඔහු සිහිපත් කරයි.
මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ඉදිරියේදී ජනාධිපති කොමිෂන් සභාව හමුවට තමන්ව කැඳවනු ලැබුවහොත්, සියලු සාක්ෂි සහිතව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.




