වත්මන් රජය බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය දිවයින පුරා සංවිධානය කරනු ලබන මහජන රැලි මාලාවේ උතුරු මැද පළාත් අදියර අද (12) සහ හෙට (13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
"වසර දෙකයි රටට සුබයි" යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය වන මෙම ජනහමු මාලාවේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක ඉලක්ක කරගත් මහජන රැළි තුනක් මේ යටතේ පැවැත්වෙනු ඇත.
දීප උයනෙන් ඇරඹෙන පොළොන්නරු රැළිය
සැලසුම් කර ඇති කාලසටහනට අනුව පොළොන්නරු දිස්ත්‍රික් මහජන රැළිය අද (12) පස්වරු 4:00ට ඓතිහාසික පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී ආරම්භ වේ. කෘෂිකාර්මික ආර්ථිකයකට උරදෙන ප්‍රදේශයක් වන පොළොන්නරුවේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග, වී මිලදී ගැනීම්, පොහොර සහනාධාර සහ වාරි ජල කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී රජයේ ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ජනතාව හමුවේ තැබීමට නියමිත බව සංවිධායක මණ්ඩලය පවසයි.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයන් මෙන්ම වෘත්තීයවේදීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
හෙට අනුරාධපුරයේ රැළි දෙකක්
මෙම වැඩසටහන් මාලාවේ දෙවන දිනය වන හෙට (13) අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජනරැළි ද්විත්වයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව හෙට පස්වරු 2:00ට කහටගස්දිගිලිය නගරාසන්නයේදී පළමු ජනහමුව ද, අනතුරුව පස්වරු 4:00ට නොච්චියාගම නගරයේදී දෙවන ජනහමුව ද පැවැත්වෙනු ඇත. රජය ගෙවී ගිය දෙවසර තුළ ආර්ථික ස්ථාවරත්වය, දූෂණ විරෝධී පියවර සහ සුබසාධන වැඩසටහන් ක්‍රියාවට නැංවූ ආකාරය පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීමට නියමිත අතර, ඉදිරි සංවර්ධන ඉලක්ක ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගොවි බිම් කේන්ද්‍ර කරගත් දේශපාලන අවධානය
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ උතුරු මැද පළාතේ ප්‍රධාන කෘෂිකාර්මික කලාප ඉලක්ක කරගනිමින් මෙම ජනරැළි සංවිධානය වීම මඟින් ග්‍රාමීය ආර්ථිකය හා බැඳුණු ජනතාව සමඟ පවතින සෘජු සබඳතාව තවදුරටත් තහවුරු කරගැනීමට පාලක පක්ෂය අපේක්ෂා කරන බවයි.
විශේෂයෙන්ම මහ කන්නයේ වගා කටයුතු ආරම්භ වීමට නියමිත පසුබිමක, ගොවි ජනතාවට අවශ්‍ය යෙදවුම් සැපයීම සහ වෙළෙඳපොළ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමට මෙම වේදිකා භාවිත වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි




