BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
පුවත්

'දූෂිතයන්ට සමාවක් නෑ; ජනවරම සොලවන්න කාටවත් බෑ' - ජනපති

T

The Leader Desk

September 13, 2026 • 4:33 AM

'දූෂිතයන්ට සමාවක් නෑ; ජනවරම සොලවන්න කාටවත් බෑ' - ජනපති  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොළොන්නරුවේදී විපක්ෂයේ අනුරාධපුර වේදිකාවට එල්ල වූ සැර දේශපාලන ප්‍රහාරය
  • ඇතැම් විනාශකාරී කණ්ඩායම් වියරු වැටිලා.
  •   ආර්ථිකය ස්ථාවර කිරීමේ අභියෝගය   තමන් වෙත රට භාර වන විට ආර්ථික ක්‍රියාකාරකම් සහ සංවර්ධන ව්‍යාපෘති ඇණහිට තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ගතවූ දෙවසර තුළ ආර්ථිකය ශක්තිමත් පදනමකට ගෙන ඒමට රජය සමත් වූ බව ප්‍රකාශ කළේය.
  • 1957න් පසු අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාර්තා කරමින්, දශක තුනකට පසු භාණ්ඩාගාරය ඉහළම ආදායම උපයා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර දෙකක ආර්ථික ස්ථායීතාව සහ කෘෂිකර්මාන්තයේ පරිවර්තනය ගැන ජනපතිගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්  


මහජන මුදල් අවභාවිත කළ සහ වංචා දූෂණවලට සම්බන්ධ වූ කිසිවෙකුට නීතියෙන් ගැලවීමක් නොමැති බවත්, ඒ සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.  

වත්මන් රජය බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී ඊයේ (12) පැවති අතිවිශාල ගොවි ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.  

අනුරාධපුර වේදිකාවට එල්ල වූ 'වීසි දැල' උපමාව  

එම අවස්ථාවේදීම අනුරාධපුර නගරයේදී විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව පැවැත්වූ රැලිය පිළිබඳව සිය කතාවේදී වක්‍ර අවධානය යොමු කළ ජනාධිපතිවරයා, පසුගිය පාලන සමයන්හි විවිධ චෝදනාවලට ලක්වූවන් එකම වේදිකාවකට එක්ව ඇති ආකාරය උපහාසාත්මක ලෙස පෙන්වා දුන්නේය.  

"අපේ ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්නා තුරු අපිව හොල්ලන්න බැහැ. ඇතැම් විනාශකාරී කණ්ඩායම් වියරු වැටිලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) තිබුණේ අනුරාධපුරේට ගිහින් එක වීසි දැලක් දාන්න; ඔක්කොම එකට අහුවෙනවා. ජනතාවට මුකුත් වෙලා නෑ, වෙලා තියෙන්නේ මේ අයටයි. මේ රටේ නැවත බලය මාරු වෙනවා නම් එහෙම වෙන්නේ අපටත් වඩා හොඳ කණ්ඩායමක් අතට පමණයි."  

අතීතයේ සිදුවූ පාස්කු ප්‍රහාරය, මාධ්‍යවේදීන් ඝාතනය ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන රැකවරණයක් නොමැතිව නීතිය ඉදිරියට ගෙන එන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙය පෞද්ගලික පළිගැනීමක් නොව රටේ මූල්‍ය විනය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලියක් බවද පැහැදිලි කළේය.  

ආර්ථිකය ස්ථාවර කිරීමේ අභියෝගය  

තමන් වෙත රට භාර වන විට ආර්ථික ක්‍රියාකාරකම් සහ සංවර්ධන ව්‍යාපෘති ඇණහිට තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ගතවූ දෙවසර තුළ ආර්ථිකය ශක්තිමත් පදනමකට ගෙන ඒමට රජය සමත් වූ බව ප්‍රකාශ කළේය.  

2024 දෙසැම්බර් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාත්‍යන්තරය සමග ඇතිකරගත් එකඟතාවන්ට අනුව 2028 වන විට ණය ආපසු ගෙවීම ඇරඹෙන බවත්, දිට්වා සුළි කුණාටුව හා මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද භාණ්ඩාගාරය මගින් අත්‍යාවශ්‍ය මුදල් වෙන් කරමින් ඉන්ධන සහ විදුලි අර්බුද ඇතිවීම වළක්වා ගැනීමට හැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. 1957න් පසු අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාර්තා කරමින්, දශක තුනකට පසු භාණ්ඩාගාරය ඉහළම ආදායම උපයා ඇති බවද හෙතෙම සඳහන් කළේය.  

සහනාධාර සහ රාජ්‍ය සේවයේ පුරප්පාඩු  

ආර්ථික ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කරවීමේ පියවරක් ලෙස පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීම, වැඩිහිටි දීමනාව සහ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීම මෙන්ම පාසල් දරුවන්ගේ උපකරණ වෙනුවෙන් විශේෂ දීමනා ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මෙහිදී ප්‍රකාශ විය.  

වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ගුරුවරුන් 23,000ක් සහ පොලිස් නිලධාරීන් 10,000ක් ඇතුළුව අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා 121,000ක නව බඳවා ගැනීම් අනුමත කර ඇති බව කියා සිටියේය. එම බඳවා ගැනීම් කිසිදු දේශපාලන ලිපියකින් තොරව විභාග සහ කුසලතා මත පමණක් විනිවිදභාවයෙන් සිදුකරන බවටද ඔහු සහතික විය.  

කෘෂිකාර්මික නවෝත්පාදනය සහ ජල කළමනාකරණය  

පොළොන්නරුව ඇතුළු සමස්ත ගොවි ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳ දීර්ඝ විග්‍රහයක යෙදුණු ජනාධිපතිවරයා, මෙරට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය මුසු වාණිජ කෘෂිකර්මාන්තයක් බවට පත්කිරීමේ ඉදිරි දැක්ම ඉදිරිපත් කළේය.  

ඉඩම් අයිතිය:
'හිමිකම' වැඩසටහන යටතේ ඉදිරි දෙවසර හමාර තුළ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දී අයිතිය නිරවුල් කිරීම.  

වාරිමාර්ග ප්‍රතිසංස්කරණය:
දිවයින පුරා පිහිටි වැව් 16,000ක් පමණ අදියරගතව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් දස ලක්ෂ තිස් පන්දහසක ප්‍රතිපාදන වෙන් කිරීම සහ පහළ මල්වතු ඔය, මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම.  

දේශීය බීජ සහ යෙදවුම්:
දේශීය බීජ ප්‍රභේද සංවර්ධනය සහ කාබනික-රසායනික පොහොර මිශ්‍රණයට හුරුවීම මෙන්ම, සිපෙට්කෝ ආයතනය හරහා සාධාරණ මිලකට ගුණාත්මක කෘෂි රසායන වෙළෙඳපොළට හඳුන්වා දීම.  

වී මිලදී ගැනීම සහ ගබඩාකරණය:
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් වී අලෙවි මණ්ඩලයට ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි මූල්‍ය සංචිතයක් ලබාදීම සහ පෞද්ගලික අංශයද දායක කරගනිමින් ගබඩා හා මෝල් ධාරිතාව ඉහළ නැංවීම.  

සංවර්ධන මාවත සහ සමාජ ආරක්ෂණය  

යුද්ධයෙන් අවතැන් වූ පවුල් හා ආපදාවලට ලක්වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත්, සාමාන්‍ය ග්‍රාමීය පාසල් සිසුන් 500කට වැඩි පිරිසක් සහිත ක්‍රීඩා හා සෞන්දර්ය පහසුකම් සහිත සම්පත් මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  

විපක්ෂයේ කුමන දේශපාලන සන්ධාන හෝ උත්සාහයන් හමුවේ වුවද රට අගාධයෙන් මුදාගෙන ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි බව අවධාරණය කළ හෙතෙම, රට ගොඩනැඟීමේ මෙම සාමූහික ගමනට අත්වැල් බැඳගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...