අරමුදල් දෙකක කාර්යභාරය සමාලෝචනයට පාලක මණ්ඩලයෙන් විශේෂ කමිටුවක්
පසුගිය වසර ගණනාවක කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, 2016 සිට 2025 දක්වා දස වසරක කාලසීමාව ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ආරම්භ කරන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.
මෙම විගණන ක්‍රියාවලිය විධිමත්ව හා කාර්යක්ෂමව නිම කිරීම සඳහා අදාළ කාලවකවානුව තුළ සේවයේ නියුතුව සිටි වගකිවයුතු සියලුම නිලධාරීන් කැඳවා සාක්ෂි සහ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ප්‍රමාද වූ වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට
රාජ්‍ය අරමුදල් පරිහරණයේදී විනිවිදභාවය සහ වගවීම ප්‍රමුඛ කරගනිමින් වත්මන් පරිපාලනය යටතේ විශේෂ අවධානයක් මේ සඳහා යොමු කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙතෙක් පැවති පරිපාලනමය හා තාක්ෂණික බාධාවන් රැසක් මේ වන විටත් නිරාකරණය කරගෙන ඇති බව ප්‍රකාශ කළේය.
"අපි වගකීම් භාරගත් පසුව මේ වාර්තා ලබා නොදීම පිළිබඳව වෙනම සොයා බැලීමක් ආරම්භ කළා. එහිදී මතුවූ තාක්ෂණික ගැටලු කිහිපයක් දැන් විසඳාගනිමින් සිටිනවා. සකස් කළ විධිමත් සැලැස්මකට අනුව ඉදිරි මාස කිහිපය ඇතුළත එම වාර්ෂික වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා," යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය මුදල් කළමනාකරණය හා රාජ්‍ය ආයතන සතු අරමුදල් නිසි පරිදි විගණනයට ලක්වීම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ගේ ද මූලික අවශ්‍යතාවක් වන අතර, මෙවැනි ක්‍රියාවලීන් මගින් රාජ්‍ය ක්ෂේත්‍රයේ යහපාලන ප්‍රතිපත්ති වඩාත් ශක්තිමත් කෙරෙන බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
අරමුදල් ප්‍රතිව්‍යුහගත කිරීම සහ රණවිරු සුබසාධනය
ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන 'ජාතික ආරක්ෂක අරමුදල' සහ 'අපි වෙනුවෙන් අපි' අරමුදල යන ආයතන දෙකෙහි කාර්යභාරයන් අතර පවතින ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ. අදාළ අරමුදල් ද්විත්වය වෙනම ව්‍යවස්ථාවන් දෙකක් යටතේ ස්ථාපිත කර තිබුණ ද, ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ කාර්යභාරයන් ද්විකරණය වීමක් (overlapping) නිරීක්ෂණය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අරමුදල් කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීමට පාලක මණ්ඩලය හරහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත. එම කමිටුවේ නිර්දේශ සහ යෝජනා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමෙන් අනතුරුව රණවිරුවන්ගේ සුබසාධන කටයුතු වඩාත් ඵලදායී සහ සෘජු ප්‍රවේශයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ද අරුණ ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




