ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී තනතුරක් සඳහා සිදු කළ තෝරාගැනීමේ ක්‍රියාවලියට අදාළ තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ හැකිද?
මහජන අරමුදල් භාවිතයෙන් සිදු කරන කටයුතුවල විනිවිදභාවය හා වගවීම පිළිබඳ කෙරෙහි වූ නීතිමය මඟපෙන්වීමක් ලබා දෙන අභියාචනාධිකරණ තීන්දුවක් මෙහිදී අවධානයට ලක් කෙරේ.
ප්රජාතන්ත්රවාදී රටක පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පමණක් තිබීම ම ප්‍රමාණවත් නොවේ. රජයේ ආයතන සහ මහජන මුදල් භාවිතා කරන ආයතන කටයුතු කරන්නේ කෙසේද, තීරණ ගන්නේ කුමන පදනමක් මතද සහ එම තීරණ මහජන යහපතට සේවය කරන්නේද යන්න දැනගැනීමට ද පුරවැසියන්ට අයිතියක් තිබිය යුතුය. එවැනි අවස්ථාවක් නොමැති විට විනිවිදභාවය දුර්වල වන අතර ආයතන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව ද සීමා වේ.
2016 අංක 12 දරන ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් පුරවැසියන්ට එම අයිතිය නීතිමය වශයෙන් තහවුරු කර ඇත. මෙම පනතේ අරමුණ වන්නේ තොරතුරු වෙත ප්‍රවේශය ලබා දීම පමණක් නොව, රාජ්‍ය ආයතනවල විනිවිදභාවය, වගවීම ශක්තිමත් කිරීමටය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. ආයතනයේ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් මෙම අයිතියේ වැදගත්කම පැහැදිලි කරනු ඇත.
නඩුවට පසුබිම් වූ සිදුවීම
මෙම නඩුව ගොනු වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. ආයතනයට එදිරිව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව සහ ජී. සුරේන්ද්‍රන් විසිනි. නඩු අංකය CA/RTI/0004/2023 වන අතර, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ අභියාචනා අංක 703/2022, 707/2022 සහ 708/2022 යන අභියාචනා තුනට අදාළ තීන්දුව 2025 ජූලි 3 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලදී. මෙහිදී ජී. සුරේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දත්ත මධ්‍යස්ථාන සහ ක්ලවුඩ් සේවා අංශයේ සාමාන්‍යාධිකාරී (General Manager – Data Centre and Cloud Services) තනතුර සඳහා සිදු කළ තෝරාගැනීමේ ක්‍රියාවලියට අදාළ තොරතුරු ඉල්ලා තිබුණි.
ඔහු 2021 දෙසැම්බර් 14 වැනිදා ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමෙන් අපේක්ෂා කළේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය කෙතරම් සාධාරණ හා විනිවිදභාවයකින් යුතුව සිදු කර තිබේද යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමයි. එහෙත් අදාල ආයතනයේ තොරතුරු නිලධාරියා 2021 දෙසැම්බර් 28 වැනිදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, නම් කළ නිලධාරියා ද 2022 ජනවාරි 31 වැනිදා එම තීරණය තහවුරු කර තිබුණි. එකී තොරතුරු ප්‍රතික්ෂේප කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) සහ 5(1)(උ) වගන්ති පදනම් කරගෙන තිබුණි.
ඉන් අනතුරුව සුරේන්ද්‍රන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනා කළේය. අදාළ තොරතුරු හෙළි කරන ලෙස කොමිෂන් සභාව තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එම තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත ගියේය.
ඉල්ලා සිටි තොරතුරු මොනවාද?
මෙම නඩුවේ මහජනතාවට වැදගත් වන ප්‍රධානතම කරුණ නම්, තොරතුරු ඉල්ලීමේ ස්වභාවයයි. මන්ද, එම තොරතුරු ඉල්ලීමේ දී තනතුරට අදාළ සාමාන්‍ය තොරතුරු පමණක් නොව, එම තනතුර සඳහා සුදුසු පුද්ගලයා තෝරාගත් ආකාරය ද පැහැදිලි කරගැනීමට හැකි පරිදි තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර තිබීමයි.
ඒ අනුව ඉල්ලා තිබූ තොරතුරු අතර පහත කරුණු ඇතුළත් විය.
• අදාළ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා අයදුම් කළ සියලු අපේක්ෂකයන්ගේ නම්.
• අපේක්ෂකයන් සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකළ සාමාජිකයන්ගේ නම්.
• දත්ත මධ්‍යස්ථාන සහ ක්ලවුඩ් සේවා ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ දැනුමක් හෝ අදාළ ක්ෂේත්රයේ ප්රවීණත්වයක් තිබූ සම්මුඛ පරීක්ෂණ සාමාජිකයන්ගේ නම්.
• අදාළ තනතුරේ රැකියා විස්තරය සකස් කළ නිලධාරියාගේ නම.
• පළමු සහ දෙවන වටවල සම්මුඛ පරීක්ෂණවලදී සියලු අපේක්ෂකයන්ට සාමාජිකයන් ලබා දුන් ලකුණු.
• කේ. කේ. ඒ. කේ. කපුරුබණ්ඩාර මහතා අදාළ තනතුර සඳහා තෝරාගැනීමට හේතු වූ කරුණු.
මෙම තොරතුරු දෙස බැලීමේදී වැටහෙන්නේ සේවයට බඳවා ගැනීමක ප්‍රතිඵල පමණක් නොව, එම ප්‍රතිඵල ලබාගැනීම සඳහා යෙද වූ ක්‍රියාවලිය පිළිබඳව ද පුරවැසියෙකුට දැනගැනීමට අවශ්‍ය විය හැකි බවයි.
යම් තනතුරකට පුද්ගලයෙකු තෝරාගැනීමේදී ඔහු හෝ ඇය තෝරාගත්තේ කුමන සුදුසුකම් මතද, සම්මුඛ පරීක්ෂණ ලකුණු ලබා දුන්නේ කෙසේද සහ තෝරාගැනීම සිදු කළ පුද්ගලයන්ට අදාළ ක්ෂේත්රය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබුණේද යන්න වැදගත් ප්‍රශ්න වේ. විශේෂයෙන් මහජන මුදල් භාවිත වන අවස්ථාවලදී මෙම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු තිබීම ආයතනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීමට උපකාරී වේ.
පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පෙන්වා තොරතුරු ප්‍රතික්ෂේප කළ හැකිද?
මෙම නඩුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන තර්කයක් වූයේ ඉල්ලා සිටි තොරතුරු තුළ අපේක්ෂකයන්ගේ පෞද්ගලික තොරතුරු, සම්මුඛ පරීක්ෂණ ලකුණු සහ තෝරාගැනීම පිළිබඳ සාධාරණීකරණය ඇතුළත් වන බැවින් ඒවා හෙළි කිරීමෙන් අදාළ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා කීර්තිනාමයට හානි විය හැකි බවයි. ඒ සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) සහ 5(1)(උ) වගන්ති උපුටා තිබුණි.
“5(1)(අ) වගන්තියෙන් පෞද්ගලික තොරතුරු හෙළි කිරීම සම්බන්ධ සීමාවන් දක්වා ඇත. යම් තොරතුරක් හෙළි කිරීමෙන් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට අසාධාරණ මැදිහත්වීමක් සිදුවන්නේ නම්, එය හෙළි කිරීමේදී අදාළ නීතිමය කොන්දේසි සැලකිල්ලට ගත යුතුය. එහෙත් එම තොරතුර විශාල මහජන යහපතක් සමඟ සම්බන්ධ වන්නේ නම්, එම මහජන යහපත හෙළිදරව් කිරීම සාධාරණීකරණය කළ හැකිද යන්න ද සලකා බැලිය යුතුය.”
“5(1)(උ) වගන්තියෙන් භාරකාර සම්බන්ධතාවයක් (fiduciary relationship) හේතුවෙන් රහසිගතව තබාගත යුතු තොරතුරු පිළිබඳව සඳහන් වේ.”
කෙසේ වෙතත්, මෙම වගන්ති පැවත පමණින් යම් තොරතුරක් ස්වයංක්‍රීයව රහස්‍ය තොරතුරක් බවට පත් නොවේ. ඉල්ලූ තොරතුරේ ස්වභාවය, එය මහජන කටයුත්තක් සමඟ ඇති සම්බන්ධතාව සහ අදාළ ව්‍යතිරේකය නීත්‍යනුකූලව අදාළ වන්නේද යන්න සලකා බැලීම අවශ්‍ය වේ. මෙහිදී අභියාචනාධිකරණය අවධාරණය කළේ ඉල්ලා තිබූ තොරතුරු මහජන අරමුදල් යොදා සිදු කරන බඳවා ගැනීම් ක්‍රියාවලියට අදාළ වන බවයි. ඒ අනුව එම ක්‍රියාවලිය හෙළිදරව් කිරීමේ වගකීම ආයතනයට ඇති බව අධිකරණය ප්‍රකාශ කළේය.
මහජන අරමුදල් යොදා සිදු කරන කටයුතු පිළිබඳ වගවීම
මෙම තීන්දුවේ වැදගත්ම පණිවිඩය වන්නේ මහජන මුදල් යොදා සිදු කරන කටයුතු පිළිබඳව ආයතනවලට වගවීමක් තිබිය යුතු බවයි.
රාජ්‍ය අරමුදල් හෝ මහජන යහපතට සම්බන්ධ සම්පත් භාවිතා කරමින් තීරණ ගන්නා ආයතන තම තීරණවල පදනම පැහැදිලි කිරීමට සූදානම් විය යුතුය. එසේ නොමැති නම් බඳවා ගැනීම්, උසස්වීම්, කොන්ත්‍රාත් ලබාදීම සහ අනෙකුත් තීරණ සාධාරණ ලෙස සිදු කළේද යන්න පිළිබඳ සැක මතුවිය හැකිය. විශේෂයෙන් රැකියා අවස්ථා සම්බන්ධයෙන් පුරවැසියන්ට ඇති ප්‍රධාන අපේක්ෂාවක් වන්නේ සුදුසුකම්, හැකියාව සහ සාධාරණ තරගකාරීත්වය මත සිදු කරනු ලැබූ තෝරාගැනීම්ය. එවැනි ක්‍රියාවලියකදී තෝරාගැනීමේ නිර්ණායක, ලකුණු ලබාදීම සහ තීරණ ගැනීමේ ක්‍රමවේදය පැහැදිලි වීම වැදගත් වේ.
විනිවිදභාවය යනු ආයතනයකට එරෙහිව චෝදනා කිරීම සඳහා පමණක් භාවිත කරන දෙයක් නොවේ. සාධාරණ ලෙස කටයුතු කරන ආයතනයකට තම ක්‍රියාවලියේ නිවැරදිභාවය පෙන්වීමට ද එය අවස්ථාවක් සසනු ඇත.
ඉන්දියානු අධිකරණ තීන්දු මඟින් තහවුරු කළ මූලධර්ම
ශ්‍රී ලංකා අභියාචනාධිකරණය මෙම නඩුව සලකා බැලීමේදී ඉන්දියානු අධිකරණ තීන්දු කිහිපයක් ද සැලකිල්ලට ගෙන තිබුණි. එකී තීන්දු පහත පරිදි වේ,
“Canara Bank එදිරිව Central Information Commission නඩුවේදී බැංකු සේවකයන්ගේ පත්වීම්, ස්ථාන මාරු සහ උසස්වීම් පිළිබඳ තොරතුරු සඳහා භාරකාර සම්බන්ධතාවයක් පවතින බව පමණක් පෙන්වා ප්‍රතික්ෂේප කළ නොහැකි බවට අදාළ නීතිමය තර්ක ඉදිරිපත් වී තිබුණි. එවැනි තොරතුරු හෙළි කිරීම ආයතනවල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමට උපකාරී වන බව ද එහිදී අවධාරණය කර තිබේ.”
“Treesa Irish නඩුවේදී විභාගයක ලකුණු ලබාදීම සහ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ සාධාරණත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත. තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදීමෙන් සාධාරණත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ විශ්වාසය වර්ධනය කළ හැකි බව එහිදී පෙන්වා දී තිබේ.”
එසේම “University of Calcutta එදිරිව Pritam Rooj නඩුවේදී විවෘත පාලනයේ වැදගත්කම අවධාරණය කර ඇත. එම නීතිමය ප්‍රවේශය අනුව පාලන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සාමාන්‍ය මූලධර්මය විය යුතු අතර, රහස්‍යභාවය අවශ්‍ය වන්නේ නීතියෙන් පිළිගත් හේතු මත පමණි.”
මෙම ඉන්දියානු නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අදාළ නඩුවේදී සලකා බැලූ උදාහරණ වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ පනතට ආදේශකයක් නොවේ. මන්ද, ශ්‍රී ලංකාවේ අදාළ නීතිමය තීරණය ගනු ලැබුවේ මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සහ අදාළ කරුණු සලකා බැලීමෙනි. ඉහත අක්වා ඇති ඉන්දියානු සංකල්ප උපුටා දැක්වීම් පමණි.
අධිකරණයේ අවසන් තීරණය
අභියාචනාධිකරණය මෙම නඩුවේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණය වෙනස් කිරීමට ප්‍රමාණවත් හේතු නොමැති බව තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් නඩු ගාස්තු ද නියම කරන ලදී.
මෙම තීන්දුවෙන් පැහැදිලි වන්නේ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් පිළිබඳ තොරතුරු පෞද්ගලිකත්වය හෝ රහස්‍යභාවය යන වචන පමණක් ඉදිරිපත් කරමින් ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. අදාළ තොරතුරු මහජන කටයුත්තක් සමඟ සම්බන්ධ වන්නේද සහ පනතේ ව්‍යතිරේකයක් යටතේ ඒවා ප්‍රතික්ෂේප කළ හැකිද යන්න නීතියට අනුව විමසා බැලිය යුතුය.
පුරවැසියන් දැනගත යුතු දේ
මෙම තීන්දුව පුරවැසියන්ට වැදගත් වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය යනු නීතිමය ලේඛනයක පවතින වගන්ති නොවන බවය. එය රාජ්‍ය ආයතනවල කටයුතු පරීක්ෂා කිරීමටත්, මහජන මුදල් භාවිතය පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමටත් භාවිතා කළ හැකි අයිතියකි.
පුරවැසියෙකුට රාජ්‍ය ආයතනයක බඳවා ගැනීමක්, උසස්වීමක්, මහජන මුදල් වියදම් කිරීමක් හෝ වෙනත් මහජන කටයුත්තක් පිළිබඳ තොරතුරු අවශ්‍ය නම්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකිය. එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත්, ප්‍රතික්ෂේප කිරීමට දක්වා ඇති නීතිමය හේතු සලකා බලා පනතේ විධිවිධාන අනුව අභියාචනා කිරීමේ අවස්ථාව ද පවතී. එහෙත් සෑම තොරතුරක්ම කිසිදු සීමාවකින් තොරව හෙළි කළ යුතු බව මෙම තීන්දුවෙන් අදහස් නොවේ. පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සහ නීතියෙන් ආරක්ෂා කරන රහස්‍යභාවය ද වැදගත්ය. තීරණාත්මක කරුණ වන්නේ එවැනි සීමාවන් අදාළ වන්නේද යන්න නීතියට අනුව විමසා බැලීමයි.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන්නේ පුරවැසියන් තම ඡන්ද අයිතිය පමණක් භාවිතා කිරීමෙන්ම නොවේ. මහජන කටයුතු පිළිබඳ දැනුවත් වීමෙන්, තොරතුරු ඉල්ලීමෙන් සහ ආයතනවලින් වගවීම අපේක්ෂා කිරීමෙන් ද එය ශක්තිමත් වනු ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධ මෙම අභියාචනාධිකරණ තීන්දුව අපට මතක් කර දෙන්නේ මහජන යහපතට සම්බන්ධ කටයුතුවලදී විනිවිදභාවය සහ වගවීම අත්‍යවශ්‍ය බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය නිසි ලෙස භාවිතා කරන පුරවැසියන් සිටින සමාජයක ආයතනවලට තම තීරණ පැහැදිලි කිරීමට සිදුවන අතර, එය යහපත් පාලනයක් සහ මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා වැදගත් පදනමකි.
මහජන මුදල් භාවිතයෙන් ගනු ලබන තීරණ පිළිබඳව දැනගැනීම වරප්‍රසාදයක් නොව, එය නීතියෙන් තහවුරු කර ඇති අයිතියකි. එම අයිතිය පිළිබඳ දැනුවත් වීමත්, එය වගකීමෙන් භාවිතා කිරීමත් සෑම පුරවැසියෙකුගේම ප්රජාතන්ත්රවාදී වගකීමකි සහ අයිතියකි.




