නිසි සුදුසුකම් නොමැතිව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයට ඇතුළත් කළ බවට අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (23) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කළහ.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය.
එහිදී පළමු විත්තිකරු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ දෙවන විත්තිකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් තමන් එම චෝදනාවලට නිවැරදිකරුවන් බව අධිකරණයට දැනුම් දුන්හ.
චෝදනාවේ පසුබිම කුමක්ද?
2006 වසරේදී නාවික හමුදාවේ 45 වන ශිෂ්‍යභට නිලධාරීන් බඳවා ගැනීමේදී, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොතිබූ බව කියන යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම මෙම නඩුවට පදනම් වී තිබේ.
එමගින් 'දූෂණය' නමැති වරද සිදු කළ බවට හිටපු නාවික හමුදාපතිවරයාටත්, ඊට ආධාර අනුබල දුන් බවට යෝෂිත රාජපක්ෂ මහතාටත් අල්ලස් කොමිසම චෝදනා එල්ල කර ඇත.
ලේඛන ගැන අධිකරණයේ උණුසුම් තර්ක
සාක්ෂි විභාගය ආරම්භ වීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ශාවින්ද්‍ර ප්‍රනාන්දු සහ සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන් සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විරෝධය පළ කළහ.
අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇතැම් වැදගත් ලේඛන තමන්ට මෙතෙක් ලැබී නොමැති බවත්, ඒවා පරීක්ෂා නොකර සාධාරණ නඩු විභාගයකට මුහුණ දිය නොහැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
"නඩු භාණ්ඩ ගොනුව (Production File) අපට විවෘත කරන්න බැහැ. අධිකරණයට දුන් පිටපත් අපට ලබා දී නැහැ." - ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව අවස්ථා තුනකදී අදාළ ලේඛන විත්ති පාර්ශ්වයට ලබා දීමට පියවර ගත් බවයි.
ලේඛන නොලැබුණු බව පවසමින් විත්ති පාර්ශ්වය නඩු විභාගය කල් දැමීමට උත්සාහ කරන බවට ඇය චෝදනා කළාය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්ති පාර්ශ්වයට අවශ්‍ය සියලු ලේඛන ලබා දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කරමින් සාක්ෂි විභාගය ආරම්භ කිරීමට තීරණය කළේය.
පළමු සාක්ෂිකරුගේ හෙළිදරව්ව
නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස 2006 වසරේදී නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කළ විශ්‍රාමික කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
නාවික හමුදා ශිෂ්‍යභට නිලධාරී තනතුර සඳහා උසස් පෙළ සමත් වීම සහ සාමාන්‍ය පෙළ විෂයයන් හයකට එකවර සම්මාන තිබීම අනිවාර්ය සුදුසුකමක් ලෙස පුවත්පත් දැන්වීම්වල පළ කර තිබූ බව ඔහු සඳහන් කළේය. ඒ සඳහා ක්‍රීඩා දක්ෂතාවලට විශේෂ සැලකිල්ලක් දක්වා නොතිබූ බවද ඔහු පැවසීය.
2006 වසරේ එම බඳවා ගැනීම් සිදු වූ කාලසීමාවේදී තම කාර්යාල මේසය මත තිබූ විශේෂ ලිපි ගොනුවක් පිළිබඳව සාක්ෂිකරු මෙලෙස විස්තර කළේය:
නාවිකයෙකු පැමිණ අදාළ ලිපි ගොනුව අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දෙන ලෙස දන්වා මේසය මත තබා ගොස් තිබුණි.
එහි තිබූ ලිපිය පමණක් තමා අධ්‍යක්ෂ ජනරාල් සිරිවර්ධන මහතා වෙත රැගෙන ගිය අතර, "වැඩේ කරගෙන යන්න" යැයි ඔහු උපදෙස් දුන්නේය.
පසුව කාර්යාලයට පැමිණ එම ලිපි ගොනුව පරීක්ෂා කිරීමේදී එහි 'Y.K. රාජපක්ෂ' යන නම සඳහන් අයදුම්පතක් තිබූ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ අනාවරණය කළේය.
මේ අතර, අධිකරණයට ඉදිරිපත් කර ඇති 45 වන බඳවා ගැනීමට අදාළ ගොනුවේ කාර්ය සටහන් පත්‍රිකා නොමැති බැවින් එය වෙනස් කරන ලද ලේඛනයක් බවට සැක පළ කරමින් ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊට සිය දැඩි විරෝධය පළ කළේය.
ඉදිරි පියවර
අද දින සාක්ෂි ලබා දුන් පළමු සාක්ෂිකරුට සහ නඩුවේ දෙවන සාක්ෂිකරුට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වනදා දක්වා කල් තැබිණි.



