"ජනාධිපතිවරයා චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කළා ලංකාවට ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න. දැන් මේ අත්සන් කරපු ආයෝජනය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාම හතරක් තිබ්බා මට මතක විදිහට. දැන් ඒ ආයෝජන බිම් මට්ටමේ යථාර්ථයක් වෙන්න ඔබ තමුන් වහන්සේලා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද?" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය:
"ඔබ බලයට ආපු ගමන් අදානි කියන ඉන්දියන් ආයෝජකයාව හරවලා යැව්වා. චයිනා මර්චන්ට් චීන සමාගම ඔබ හරවලා යැව්වා. දැන් ඒ ආයෝජකයෝ හැරිලා ගිහිල්ලා.
අමාත්‍යාංශ ප්‍රතිපාදන වියදම් නොකිරීම
විශේෂයෙන්ම අද විදේශ අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්නේ. පහුගිය අවුරුද්දේ අයවැයෙන් ප්‍රාග්ධන වියදම්වලට වෙන් වෙච්ච රුපියල් බිලියන දෙක එහෙම නැත්නම් මිලියන 2,119න් මිලියන 420යි වියදම් කළේ. ඉතුරු බිලියන 1.6 තමයි ඉතිරිය විදිහට කතා කරන්නේ.
සංචාරක ව්‍යාපාරයේ තරුණයාගේ පුහුණුව සඳහා, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම්වලට, අමාත්‍යාංශයෙන් අයවැයෙන් වෙන් වෙච්ච මුදල්වලින් 20%යි ඇමතිතුමාට පහුගිය අවුරුද්දේ වියදම් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ.
විදේශ ප්‍රතිපත්තිය සහ සමුද්‍රීය ආරක්ෂාව
දැන් ඔබ තමුන් වහන්සේලාගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මම හිතන්නේ ඔබටත් අවබෝධයක් නෑ. මොකද ඔබ බලයට එන්න කලින් හිටපු විදේශ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් වෙනස් මාතෘකා මත ඔබේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වීමක් අපි දකිනවා. ලෝකයේ බලපෑම් රටට එන්නේ කොහොමද කියලා බලලා ඔබ තමුන් වහන්සේලාට වාසි විදිහට හෝ ඒකෙන් බේරෙන්න විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරගන්නවා.
පහුගිය දවසේ ඉරාන නෞකාවකට අපේ මුහුදු තීරයේ සිද්ධියක් වුණා. හැබැයි එදා ඔබ තමුන් වහන්සේලාගේ ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදා හැසිරිච්ච ආකාරයටම නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හරහා ගිහිල්ලා ඒ නැවේ හිටපු අය බේරගන්න කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා.
හැබැයි අනිත් පැත්තෙන් අපිට අයිති මුහුදු තීරයක සිද්ධ වුණු ඒ සිද්ධිය පිළිබඳව අපි දැනගෙන හිටියාද නැද්ද කියන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඔබ අදටත් අපොහොසත් වෙලා තියෙනවා. අපේ මුහුදු තීරයේ ආරක්ෂාව පිළිබඳව ඔබ තමුන් වහන්සේලාට අවබෝධයක් තියෙනවාද?
සමුද්‍රීය කලාපීය අවබෝධය (Marine Domain Awareness - MDA) පිළිබඳව අපි මොන ප්රතිපත්තියද අනුගමනය කරන්නේ? 2011 'කලම්බු සිකියුරිටි කොන්ක්ලේව්' එක ආරම්භ කළේ MDA එක පදනම් කරගෙන. එදා කලම්බු සිකියුරිටි කවුන්සිල් එක හරහා තමයි කලාපීය සහයෝගීතාව පිළිබඳව ලංකාව, ඉන්දියාව, සීෂෙල්ස් වගේ රටවල් සාකච්ඡා කළේ. එය නැවත ආරම්භ කරලා ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ අනුගමනය කරන්න කියන ඉල්ලීම අපි ඇමතිවරයාට මතක් කරනවා.
ආර්ථිකය, වෙළඳ ගිවිසුම් සහ තානාපති පත්වීම්
අද ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂාව කියන කාරණා සියල්ලම බද්ධ වෙලා තියෙන්නේ. රටේ ආර්ථිකය ශක්තිමත් වුණොත් තමයි ජාතික ආරක්ෂාව ආරක්ෂා වෙන්නේ.
අපේ විදේශ ප්‍රතිපත්තිය ඇතුළේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද? IMF එක කියන කියන විදිහට බදු වැඩි කරන එකද? එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ආයෝජකයෝ අපේ රටට අරගෙන එන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන එකද?
ජනාධිපතිවරයා තමන්ගේ කතාවෙත් කිව්වා අලුත් වෙළඳ ගිවිසුම් ගැන. ගිය අවුරුද්දේ අයවැය කතාවෙත් කිව්වා. හැබැයි අද වෙනකන් චීනය එක්ක හෝ තායිලන්තය එක්ක හෝ ඉන්දු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම නූතනත්වයට ගැලපෙන විදිහට වෙනස් කරන්න ඔබ තමුන් වහන්සේලා සක්‍රීයව ගත්තු වැඩපිළිවෙළ මොකක්ද?
ඔබේ විදේශ ප්‍රතිපත්තිය සතුටු කරවීම, රැවටීම සහ බොරු කිරීමයි. මැතිවරණ කාලේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව මේ රටේ ජනතාවට බොරු කළා පමණක් නෙමෙයි දැන් ජාත්‍යන්තරයටත් බොරු කරන තැනට ඔබ තමුන්නාන්සේලා පත්වෙලා තියෙනවා.
තවම චීනයට, ඇමරිකාවට, ජර්මනියට, කැනඩාවට තානාපතිවරු පත් කරගන්න ඔබ තමුන් වහන්සේලා අපොහොසත් වෙලා තියෙනවා. වෙළඳ ගිවිසුම් ගහන්න කලින් ඒ ගැන සාකච්ඡා කරන්න මේ තානාපතිවරු ටික පත් කරගන්න. ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකයි. සමහර ප්‍රධාන රටවලට මාස හය හත තානාපතිවරු නෑ.
විදේශ රැකියා සහ ජනාධිපති සමාව
විදේශ රැකියා සම්බන්ධයෙන් අදටත් ඊශ්‍රායල රැකියා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මැදිහත් වෙන්න. මැද පෙරදිග කලාපයේ තියෙන අර්බුද එක්ක රැකියා අහිමි වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය අලුත් රැකියා වෙළඳපොළවල් හොයාගන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. බලන් ඉඳලා මැද පෙරදිග ප්‍රශ්නයක් තියෙනවා කියලා කෙඳිරි ගාලා හරියන්නේ නෑ.
පහුගිය දවස්වල අනෝජන් තරුණයාගේ ප්රශ්නය ආවා. ඔබ තමුන් වහන්සේලා සාධනීය මැදිහත් වීමක් කළා. ඒ මැදිහත් වීම තුළ සෞදි රජය තීන්දු කළා ඉස්ලාම් ආගමට අගෞරව කරලා තිබුණත් ඒ තරුණයාගේ මරණ දණ්ඩනය අයින් කරන්න.
දැන් අපේ රට බෞද්ධ රටක්. ඥාණසාර හාමුදුරුවන්ට තියෙන්නෙත් ඔය චෝදනාවමනේ. අනුර කුමාර ජනාධිපතිතුමාට මැද පෙරදිග ඉස්ලාම් රටක නායකයෙක්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඒ ආගමට අගෞරව කරපු තරුණයාගේ ජීවිතය බේරලා දෙන්න කියලා, ජනාධිපතිතුමාට පුළුවන් ප්‍රායෝගිකව තමන්ගේ රටේ ඒ චෝදනාවම තියෙන ඥාණසාර හාමුදුරුවන්ටත් සමාව දෙන්න. එහෙම නොවෙනවා නම් ඒ හුදෙක් දේශපාලනික කාරණයක් මත මිසක් වෙනත් කාරණයක් විදිහට දකින්න විදිහක් නෑ.
සංචාරක ආදායම් සූත්‍රය සහ කුඩා ව්‍යාපාරිකයන්
ඇමතිවරයා කිව්වා සංචාරකයෝ ගුවන් යානාවලින් එනවා කියලා. සංචාරකයෝ අපේ රටට යුද්ධ කාලෙත් ආවා. හැබැයි අපේක්ෂා කරන ආදායම ඒ ආකාරයටම එනවද? ඔවුන් ගෙවන ගෙවීම් සම්බන්ධයෙන් අපේ රටට පූර්ණ ලාභයක් ලැබෙනවාද?
මේ අවුරුද්ද මුලදී ඔබ තමුන් වහන්සේලා අතීතයට බලපාන විදිහට සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට එන ආදායම ගණනය කිරීම වෙනස් කළා. 'ඉකොනොමික් නෙක්ස්ට්' (EconomyNext) වෙබ් අඩවියේ තියෙනවා "Sri Lanka's Tourism Board revised tourism earning calculation retrospectively from January 2026" කියලා. මොන හේතුවක් මතද මේ ගණනය කිරීම වෙනස් කළේ? සංචාරක ව්‍යාපාරයේ ආදායම අඩුවීම වැඩි කරලා පෙන්නන්නද මේ සූත්‍රය හඳුන්වලා දුන්නේ කියන ප්රශ්නය අද සමාජයේ තියෙනවා.
සංචාරක ව්‍යාපාරය ඇතුළේ සෆාරි ජිප්, ගයිඩ්ලා, වෝටර් ස්පෝර්ට්ස් කරන කණ්ඩායම් වගේ දැවැන්ත පරාසයක් තියෙනවා. හැබැයි ආණ්ඩුව ගනුදෙනු කරන්නේ මහා පරිමාණ හෝටල්කරුවන් සහ ටුවර් ඔපරේටර්ස්ලා එක්ක විතරයි.
සංචාරක ව්‍යාපාරයේ ගමට සල්ලි ගෙනියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා. සීසන් එක පටන් ගන්නකොට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කඩවල්, හෝටල් කඩලා දානවා. පහුගිය දිනවල ක්‍රෑම් බොක්කේ කඩලා දැම්මා. ඊට කලින් මිරිස්සේ, උණවටුනේ, වැලිගම ඕක කළා. සීසන් එක පටන් ගන්න කලින් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න තිබ්බා.
ටුවරිස්ට් බෝඩ් එකට ගිහිල්ලා බලපත්‍ර අනුමැතිය ගන්න කොච්චර කල් යනවාද? ලොකු හෝටල්වලට නම් ගිහිල්ලම දෙනවා ඇති. හැබැයි හෝම් ස්ටේ එකක් කරන කුඩා ව්‍යාපාරිකයාට අවසර ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? ගමට එන සංචාරකයාව බලාගන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝත් ආරක්ෂා කරන්න.
උද්ධමනය සහ වෘත්තීය සමිති අරගල
අවසාන වශයෙන්, අද මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ජීවන වියදම, වෘත්තීය අනන්‍යතාව සහ වෘත්තීය ආරක්ෂාව පිළිබඳව දැවැන්ත අරගලයක ඉන්නවා. මහ බැංකුවේ අධිපතිවරයා කියනවා උද්ධමනය 9%යි කියලා. පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා කතා කළේ උද්ධමනයක් ඇත්තෙම නෑ වගේ.
උද්ධමනය 9%ක් නම්, බලයට එන්න කලින් උද්ධමනයට අනුකූලව මාස හයෙන් හයට රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරනවා කියලා පොරොන්දු වෙලා බලයට ආපු ඔබ තමුන් වහන්සේලා අද සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවකයා මර්දනයෙන් කට වහන්න උත්සාහ කරනවා.
ඔබේ අමාත්‍යවරයෙක් කියනවා අපි ඔයගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ නෑ කියලා. දැන් ඔවුන් ඉල්ලා ඉන්නවා 30 වැනිදාට කලින් විසඳුමක් දෙන්න කියලා. කරුණාකරලා ඔය මහා උද්ධච්ඡකම පැත්තක තියලා මේ රටේ කම්කරු ව්‍යාපාරයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට ඇහුම්කන් දීලා 30 වැනිදාට කලින් ඔවුන්ට අවශ්‍ය විසඳුම දෙන්න."



