ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියානු සමූහාණ්ඩුව අතර ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (EDCF) වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 267ක පමණ වටිනාකමකින් යුත් EDCF ණය වැඩසටහන් 18ක් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කොට තිබේ.
ඒ අනුව මෙම ණය වැඩසටහන් සඳහා වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් නිල වශයෙන් හුවමාරු කර ගැනීම ඉකුත්දා මුදල් අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මධ්‍යයේ වුවද, සංවර්ධන සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙරටම දක්වන කැපවීම මෙයින් මැනවින් පිළිබිඹු වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියානු සමූහාණ්ඩුව අතර ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF) පිළිබඳ 2026 වසරේ ප්‍රතිපත්ති සාකච්ඡාව පසුගියදා සාර්ථකව පවත්වා තිබේ. අප්‍රේල් 28 වන දින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රන්දෝරා ශ්‍රවණාගාරයේදී මෙම හමුව පැවැත්විණි.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය කිරීම සහ මෑතකාලීන ආර්ථික වෙනස්කම් හමුවේ නව ගිවිසුම්වලට එළඹීම මෙම ඉහළ පෙළේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
මෙම සාකච්ඡාවේ සුවිශේෂීම අවස්ථාවක් වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 267ක පමණ වටිනාකමකින් යුත් EDCF ණය 18ක් සඳහා වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් නිල වශයෙන් හුවමාරු කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මධ්‍යයේ වුවද, සංවර්ධන සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙරටම දක්වන කැපවීම මෙයින් මැනවින් පිළිබිඹු වේ.
මෙහිදී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව (NPD) සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) විසින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීම් සිදු කරන ලදී. මීට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු නියෝජිත පිරිස සිය 2026-2030 ජාත්‍යන්තර සංවර්ධන රාමු සැලැස්ම හඳුන්වා දුන් අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවන් සමඟ සමපාත කරමින් ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ විය.
එමෙන්ම, 2018 වසරේදී අත්සන් කරන ලද වත්මන් EDCF රාමුගත එකඟතාව (Framework Arrangement) දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙම රාමුගත එකඟතාව දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහනදායී ණය සඳහා වන නීතිමය සහ මූල්‍යමය පදනම සපයයි. සාකච්ඡාව අවසානයේ අනාගත දැක්මක් සහිත සහයෝගිතාව තහවුරු කරමින් "සාකච්ඡා සටහන්" (Minutes of Dialogue - MOD) වාර්තාවටද අත්සන් තබන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසිනි. දකුණු කොරියානු නියෝජිත පිරිස එරට ආර්ථික හා මුදල් අමාත්‍යාංශයේ බ්යොන්සොක් චෝයි (Mr. Byoungseok Choi) සහ මියොන්හුයි හ්වැන්ග් (Ms. Myeonghui Hwang) විසින් මෙහෙයවන ලදී. මීට අමතරව කොරියානු අපනයන-ආනයන බැංකුවේ (KEXIM) නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(සටහන | ජේ.මුණසිංහ)




