The Leader News
BREAKING
Top Ad
පුවත්

'ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු පිරිස වත්මන් අර්බුදයට වග කිව යුතුයි' - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

T

The Leader Desk

November 14, 2023 • 3:18 PM

'ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු පිරිස වත්මන් අර්බුදයට වග කිව යුතුයි' - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අද (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.
  • ඒ අනුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවද තීන්දුවේ සඳහන්ය.
  • එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
  • සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අද (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවද තීන්දුවේ සඳහන්ය.


වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.


එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බවයි.

එම පෙත්සම් නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති වීම ඇතුළු හේතු කිහිපයක් මත පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු ජයවර්ධන සඳහන් කළේය.

බහුතර විනිසුරුවරුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ වග උත්තරකරුවන් වගකිවයුතු නිලතල දරා ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වු බවය.

'ආර්ථික අර්බුදය වැළැක්වීමට නිසි පියවර ගෙන නැහැ'

මෙම කාල සීමාව තුළ වගඋත්තරකරුවන් රට තුළ ආර්ථික අවපාතයක් මතුවිය හැකි බවට කරුණු වටහා ගෙන සිටි බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළ අගවිනිසුරුවරයා මෙම තත්ත්වය වැළැක්වීමට ඔවුන් නිසි පියවර නොගත් බවත් සඳහන් කර සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහජනතාව මෙන්ම රටද දැඩි අගාධයකට ඇද වැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.


රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබියදීත් වගඋත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළ ආකාරයක් පෙනී නොයන බවත් වත්මන් ආර්ථික අර්බුදය මැඩලීමට තමන් සියලු ක්‍රියාමාර්ග ගත් බවට වගඋත්තරකරුවන් කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් නඩු තීන්දුවේ සඳහන් කර ඇත.


මේ තුළින් වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරය කඩ කරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර වියතුන්ගේ තීන්දුවේ සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගෝඨාභයගේ රජය රටට කළ ආර්ථික පාඩුව විගණනය කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල (2022 ඔක්තොබර් 07 වැනිදා) තීරණය කරමින් වහාම විගණනයක් සිදුකරන ලෙසට විගණකාධිපතිවරයාට නියෝග කර ඇත.


පෙත්සම් ගොනු කර ඇත්තේ ආචාර්ය මහීම් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකොන්, සහ ආචාර්ය නේවිස් මොරයාස්, චන්ද්‍රා ජයරත්න, ජුලියන් බෝලින් ඇතුලු පාර්ශව කරුවන් විසිනි.

පෙත්සම් වලින් වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නැයි, අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ශන කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ එවකට කැබිනට් මණ්ඩලය, මහ බැංකු අධිපතිවරුන් වූ මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, මහබැංකුවේ මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් අචාර්ය පී.බී ජයසුන්දර පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම් විභාගයට අවසර දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විගණකාධිපතිවරයාට නියෝග කළේ වහාම විගණනයක් සිදුකර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකණයට වාර්තා කරන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය

  • විගණකාධිපතිවරයා විසින් නොවැම්බර් 30 වැනි දින වන විට විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට
  • ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203ක පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
  • විදේශ සංචිත භාවිතා කරමින් 2022 ජනවාරි 18 වන දින එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු
  •  එවැනි ගෙවීම් මඟින් මහ බැංකුවට සිදුවූ පාඩුව පිළිබඳ විගණනයක්.

ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඩුල්ල වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝග කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරුන්, මහබැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු අධිපතිවරුන් දෙදෙනා, සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් අටිගල යන මහත්වරුන් යොමුකර ඇති සියලුම ලිපි හා නිර්දේශ නොවැම්බර් 30 වනදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු, එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවනු ලැබිණි.

(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...