වැට් (VAT) ලියාපදිංචි සීමාව මිලියන 36 දක්වා අඩු කිරීමේ තීරණය ව්‍යාපාරික පීඩනය නිසා තාවකාලිකව හකුලා ගනියි
"වැට් කියන්නේ ව්‍යාපාරිකයන් පිට පටවන බද්දක් නෙවෙයි, පාරිභෝගිකයාගෙන් එකතු කරන දෙයක්" - නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත
මෙරට ආර්ථික ඉතිහාසයේ පළමු වතාවට, වාර්ෂික අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ඉදිරි මූල්‍ය දිශානතිය නීත්‍යානුකූලව පැහැදිලි කෙරෙන "2027 රාජ්‍ය මූල්‍ය උපායමාර්ගික ප්‍රකාශනය" (Fiscal Strategy Statement) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මෑතකදී සම්මත කරන ලද 2024 අංක 44 දරන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතට අනුව මෙම ලේඛනය සකස් කර ඇති අතර, ආර්ථික අර්බුදයෙන් බැටකෑ ව්‍යාපාරික ප්‍රජාවට සහනයක් වෙමින් වැට් (VAT) බදු ලියාපදිංචි කිරීමේ සීමාවන් ලිහිල් කිරීමට ද රජය මෙහිදී පියවර ගෙන ඇත.
මීට පෙර පැවති ක්‍රමවේදය අනුව රජයේ බදු සහ වියදම් සැලසුම් ප්‍රසිද්ධියට පත් වූයේ අයවැය දිනට පමණි. එහෙත් නව පනත යටතේ මෙම උපායමාර්ගික ප්‍රකාශනය මුදල් අමාත්‍යාංශය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම නිසා රටේ පුරවැසියන්ට, ආර්ථික විද්‍යාඥයන්ට සහ ආයෝජකයන්ට රජයේ මූල්‍ය උපකල්පන කල්තියා විශ්ලේෂණය කිරීමටත්, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමටත් අවස්ථාව උදාවේ.
මූල්‍ය ප්‍රකාශනයේ ඇතුළත් මුලික තීරණ 3ක්
වැට් බදු සීමාව පහත දැමීම කල් දමයි:
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) මුහුණ දෙන පරිපාලනමය සහ මූල්‍ය ප්‍රවාහ (Cash flow) ගැටලු සැලකිල්ලට ගෙන, අනිවාර්ය වැට් ලියාපදිංචි කිරීමේ වාර්ෂික සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා පහත හෙළීමට තිබූ සැලසුම රජය විසින් තාවකාලිකව කල් දමා ඇත. එමඟින් ව්‍යාපාරවලට සූදානම් වීම සඳහා අමතර කාලයක් හිමිවේ.
බදු දැල පුළුල් කිරීමේ නව උපායමාර්ගය:
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මත අලුතින් බදු පටවන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ, වැට් බද්ද අවසාන වශයෙන් ගෙවනු ලබන්නේ පාරිභෝගිකයා විසින් මිස ව්‍යාපාරිකයන් විසින් නොවන බවයි. රජයේ ඉලක්කය වන්නේ නිෂ්පාදකයන්, තොග සහ සිල්ලර වෙළෙඳුන් ක්‍රමයෙන් බදු පද්ධතියට (VAT registration) ඇතුළත් කරගනිමින් බදු පැහැර හැරීම් වැළැක්වීමයි.
ඉලක්ක සහ අවදානම් කළමනාකරණය:
මෙම ප්‍රකාශනය මඟින් ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි. පළමුවැන්න, රාජ්‍ය වියදම් දැඩි විනයකට යටත් කරමින් රජයේ ආදායම ඉහළ නැංවීම තුළින් 2027 අයවැය සඳහා ශක්තිමත් පදනමක් දැමීමයි. දෙවැන්න, දේශීය මෙන්ම ගෝලීය වෙළෙඳපොළේ ඇති විය හැකි ආර්ථික කම්පන (Economic shocks) කලකියා හඳුනාගෙන ඊට මුහුණ දීමයි.
රජය ප්‍රකාශ කරන පරිදි ප්‍රමාණවත් ලෙස බදු එකතු නොවීම රටේ සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඩාල කිරීමට හේතු විය හැක. ඒ අනුව, මෙම උපායමාර්ගික ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රතිපත්තිමය එකඟතාවන් ප්‍රායෝගික ක්‍රියාවන් බවට පරිවර්තනය වන සැබෑ පරීක්ෂණය ඉදිරි 2027 අයවැය ලේඛනය මඟින් සනිටුහන් වීමට නියමිතය.
මුලාශ්‍රය :
Fiscal Strategy Sparks Questions over Revenue, Transparency Drive




