"විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කර විශ්‍රාම වැටුප කඩිනම් කරන්න" - ජනපතිගෙන් නියෝග
මෙරට ආර්ථිකයේ ප්‍රධානතම ශක්තියක් වන විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීමට සහ ඔවුන් උදෙසා ක්‍රමවත් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් (Contributory Pension Scheme) හඳුන්වා දීමට රජය සුවිශේෂී තීරණ කිහිපයක් ගෙන තිබේ. විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කරමින්, ඔවුන් නිල මාර්ග ඔස්සේ එවන විදේශ ප්‍රේෂණ (Foreign Remittances) දිරිගැන්වීම මෙහි මූලික අරමුණ වී ඇත.
මේ යටතේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමින් මෙන්ම ජනාධිපති කාර්යාලයේදී ද ඉහළ පෙළේ ප්‍රගති සමාලෝචන සහ පූර්ව අයවැය සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
ප්‍රේෂණ මත පදනම් වූ තීරුබදු සහන සහ ණය පහසුකම්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත්තේ බැංකු පද්ධතිය ඇතුළු නිල ක්‍රමවේද ඔස්සේ ලංකාවට මුදල් එවන ශ්‍රමිකයන් වෙනුවෙන් දැනට පවතින තීරුබදු සහන සීමාවන් තවදුරටත් පුළුල් කිරීමටයි. මෙහිදී නව සැලසුම් සකස් කෙරෙන්නේ අදාළ ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ වාර්තා (Remittance Records) රේගු පද්ධතිය සමඟ සෘජුවම සම්බන්ධ කරමින්, තීරුබදු සහන ලබා ගැනීමේ රේගු ක්‍රියාපටිපාටිය වඩාත් සරල, කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමටය.
මීට අමතරව, විදෙස්ගත ලාංකිකයන් සඳහා මෙරටදී ව්‍යාපාරික හෝ නිවාස ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. මෙම වැඩපිළිවෙළ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), ශ්‍රී ලංකා රේගුව, වාණිජ බැංකු සහ ලංකා රෙමිට් (Lanka Remit) ජාලය අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇත.
2027 අයවැයට ඇතුළත් වන විශ්‍රාම වැටුප් ක්‍රමය
මේ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක පවතින අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේය. ඒ අනුව යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ (Contributory Pension Scheme) දැනට පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු සියල්ල කඩිනමින් නිරාකරණය කර, එම යෝජනාවලිය ඉදිරි 2027 අයවැය ලේඛනයට අනිවාර්යයෙන්ම ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට නිල වශයෙන් උපදෙස් දෙනු ලැබීය.




