එජාප 80 වැනි සංවත්සරයේදී රනිල්ගේ ආර්ථික හා දේශපාලන නායකත්වය විපක්ෂයේ ඇගයීමට
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් පැවති විශේෂ හමුවකදී, 21 වැනි සියවසට ගැළපෙන නවීන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එකමුතු විය යුතු බවත් එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල මූලධර්ම සුරැකීම, පරමාධිපත්‍යයේ පැවැත්ම සහ අනාගත දේශපාලන දිශානතිය පිළිබඳව පුළුල් කතිකාවක් ගොඩනැගිණි.
"දෙසැම්බරයේ මහා සම්මේලනයෙන් නවීන එක්සත් ජාතික පක්ෂය එළිදක්වනවා" – රනිල්

සංවත්සර හමුව අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දායකත්වයෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය, මෙරට නිදහස සහ ස්වෛරීභාවය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවයි.
පක්ෂයේ 80 වැනි සංවත්සර වැඩසටහන් මාලාව සැප්තැම්බර් 17 වැනිදාට යෙදෙන හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දිනයත් සමග ආරම්භ කර, රටට කළ සේවය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ලබන දෙසැම්බර් මාසයේ මහා සම්මේලනයක් පවත්වන බව හෙතෙම ප්‍රකාශ කළේය.
"එදාට ඇතිවන්නේ නවීන එක්සත් ජාතික පක්ෂයයි. නවීන එක්සත් ජාතික පක්ෂයට අද තිබෙන අදහස් අනුව මතවාද සකස් කර, අලුත් මුහුණු එක් කරමින්, 21 වැනි ශතවර්ෂයට ඔබින ලංකාවක් සකස් කරන්න මා බලාපොරොත්තු වෙනවා," යැයි වික්‍රමසිංහ සඳහන් කළේය.
වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳව අදහස් දැක්වූ එජාප නායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි සහ 4 වැනි වගන්ති මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය මෙන්ම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බල තුලනය නොවෙනස්ව පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. වෘත්තීයවේදීන්, නීතිඥ සංගමය, වෛද්‍යවරුන් සහ ආගමික නායකයින් මුහුණ දෙන අභියෝග මෙන්ම පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ හඬට නිසි ඉඩකඩ ලැබීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
එසේම, පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ මුණුබුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට මෙම අවස්ථාවට ආරාධනා කර තිබූ බවත්, ඔහු අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජනමත විචාරණය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ නීතිමය විග්‍රහය
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මෙහිදී අදහස් දක්වමින්, පරමාධිපත්‍යයේ ඓතිහාසික පරිණාමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතා පරමාධිපත්‍යය ජනතාව වෙත සෘජුව ස්ථාපිත වූ ආකාරය සිහිපත් කළ මහාචාර්ය ජී. එල්. පීරිස්, අධිකරණයේ ස්වාධීනත්වය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ වෙනස් කිරීමේදී මහජනතාවගේ සෘජු අභිමතය වන ජනමත විචාරණයක පවතින අත්‍යවශ්‍යතාව පෙන්වා දුන්නේය. ව්‍යවස්ථානුකූල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම වගකිවයුතු සියලු දේශපාලන පාර්ශ්වයන්ගේ වගකීමක් බව ද ඔහු සඳහන් කළේය.
"අර්බුද මැද රනිල් රට භාරගෙන කළ සේවය අගය කළ යුතුයි" – ශ්‍රීලනිප සභාපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මතවාදී වෙනස්කම් පැවතියද එක්සත් ජාතික පක්ෂය දශක අටක් පුරා මෙරට කෘෂිකාර්මික, කාර්මික සහ නිවාස සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය පක්ෂ භේදයකින් තොරව අගය කළ යුතු බවයි.
විශේෂයෙන්ම මෙරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියෝග භාරගෙන ආර්ථිකය ස්ථාවර මාවතකට ගෙන ඒමට ගත් දැඩි තීන්දු තීරණ පිළිබඳව සිහිපත් කළ ශ්‍රීලනිප සභාපතිවරයා, ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රතිපත්තිගරුක සංවාදයක් මිස වෛරී දේශපාලනයක් නොවන බව අවධාරණය කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී වගකීම සහ විපක්ෂයේ එකමුතුව
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අදහස් දැක්වීමේදී, එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයින් ජාති, ආගම් භේදයකින් තොරව පොදු ජාතික අරමුණක් වෙනුවෙන් පක්ෂය නිර්මාණය කළ අයුරු සිහිපත් කළේය. නිදහස් අධ්‍යාපනය, විවෘත ආර්ථිකය, මහවැලි ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා එක්සත් ජාතික පක්ෂය තැබූ පදනම අදටත් රටේ ශක්තියක් බව ඔහු පෙන්වා දුන්නේය.
වර්තමාන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේශපාලන බලවේග එකමුතුව සාකච්ඡා කර ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.
මෙම අවස්ථාවට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මහජන නියෝජිතයන්, වෘත්තීයවේදීන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.








