BREAKING
Top Ad
පුවත්

පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22

T

The Leader

September 20, 2026 • 9:36 AM

  පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් සහිත නඩුවක වසර දෙකහමාරක විභාගය නිමාවට
  • විභාගය කඩිනම් කළ නෛතික එකඟතාව   ප්‍රහාරයෙන් පුද්ගලයන් 274 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් 577 දෙනෙකු බරපතළ තුවාල ලැබීම සම්බන්ධ කරුණු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ විත්තිය විසින් විවාදයකින් තොරව පිළිගැනීමට පියවර ගත්තේය.
  •   නඩු විභාගය 2023 ඔක්තෝබර් 10 දින ආරම්භ කර වසර දෙකහමාරක කාලයක් තුළ, එනම් දින 250කට ආසන්න කාලයකදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කිරීමට හැකි විය.
  • ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අනන්‍යතාව හෙළි නොකිරීමට සහ දැඩි ආරක්ෂක රැකවරණ සැපයීමට අධිකරණය නියෝග කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

* විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අවසන් තීන්දුව දෙස දේශීය මෙන්ම ජාත්‍යන්තර අවධානය  


2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මොහොමඩ් නවුෆර් නොහොත් ‘නවුෆර් මවුලවී’ ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව අඟහරුවාදා  (22) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර තිබේ.

නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.  



ලෝක වාර්තාවක් තැබූ චෝදනා 23,270ක අධිචෝදනා පත්‍රය  


මෙම නඩුව අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ කිසියම් නඩුවක විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙතෙක් ගොනු කර ඇති වැඩිම චෝදනා සංඛ්‍යාව එනම්, අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවරීම හේතුවෙනි. පිටු පන්දහසකට අධික මෙම චෝදනා පත්‍රය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර විත්තිකරුවන්ට විවෘත අධිකරණයේදී භාර දෙන ලදී.  

නීතිපතිවරයා විසින් මුලින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබුවද, නඩු විභාගය අතරතුර 17 වන විත්තිකරු බන්ධනාගාරයේදී ස්වාභාවික හේතුවක් මත මියයාම නිසා සංශෝධිත චෝදනා පත්‍රය අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යනු ලැබිණි.


විභාගය කඩිනම් කළ නෛතික එකඟතාව  


ප්‍රහාරයෙන් පුද්ගලයන් 274 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් 577 දෙනෙකු බරපතළ තුවාල ලැබීම සම්බන්ධ කරුණු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ විත්තිය විසින් විවාදයකින් තොරව පිළිගැනීමට පියවර ගත්තේය. එම එකඟතාව හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සිය ගණනක් අධිකරණයට කැඳවීමේ දීර්ඝ ක්‍රියාවලිය මඟහැරී ගිය අතර, පැමිණිල්ල නම් කර තිබූ සාක්ෂිකරුවන් 3,000කට ආසන්න පිරිසෙන් විමර්ශන නිලධාරීන්, රජයේ රස පරීක්ෂකවරුන් සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු 547 දෙනෙකුගේ සාක්ෂි පමණක් කැඳවා සාක්ෂි විභාගය කඩිනම් කිරීමට අවකාශ සැලසිණි.  

නඩු විභාගය 2023 ඔක්තෝබර් 10 දින ආරම්භ කර වසර දෙකහමාරක කාලයක් තුළ, එනම් දින 250කට ආසන්න කාලයකදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කිරීමට හැකි විය.


රහසිගත සාක්ෂිකරු සහ විත්තිවාචක  


නඩු විභාගයේ අවසන් අදියරේදී සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ හිටපු සාමාජිකයකු මෙන්ම පසුව රජයේ සාක්ෂිකරුවකු බවට පත් වූ පුද්ගලයකු විවෘත අධිකරණයේදී දිවුරුම් පිට ලබාදුන් සාක්ෂිය සහ ඒ ඔස්සේ සිදුකළ හරස් ප්‍රශ්න විමසීම සුවිශේෂී අවධානයක් දිනාගත්තේය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අනන්‍යතාව හෙළි නොකිරීමට සහ දැඩි ආරක්ෂක රැකවරණ සැපයීමට අධිකරණය නියෝග කර තිබිණි.  

පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව, විත්තිකරුවන් බහුතරයක් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදෙමින් තමන් මෙම චෝදනාවලට නිර්දෝෂී බව ප්‍රකාශ කර සිටි අතර, දෙපාර්ශ්වයේම ලිඛිත දේශන ගොනු කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව 22 දිනට නියම විය.  


දේශීය හා ජාත්‍යන්තර අවධානය  


මෙම නඩුවේ තීන්දුව කෙරෙහි ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම විදේශ සංචාරකයින් ජීවිතක්ෂයට පත්වූ රටවල් කිහිපයක තානාපති අංශ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැඩි විමසිල්ලෙන් පසුවෙයි. මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරුණු විශාලතම මහාධිකරණ නඩු විභාගයක තීරණාත්මක පියවරක් සනිටුහන් වනු ඇත.  

පාස්කු බෝම්බ ප්‍රහාර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව (HC/ TAB/2972-21) චෝදනා ලබුවන්

1. චූදිත මොහොමදු නවුෆර් මවුලවී

2 චූදිත මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)

3  චූදිත හයාතු මොහමදු අහමදු මිල්හාන්

4  චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා

5  චූදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්

6  චූදිත මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්

7  චූදිත මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්

8  චූදිත අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

9  චූදිත මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්

10 චූදිත අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි

11 චූදිත හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්

12 චූදිත මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්

13 චූදිත මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්

14 රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්

15  චූදිත මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්

16 මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්

17 චූදිත මියගොස් (යාසිම් බාවා අබ්දුල් රවුෆ් )

18 චුදිත රාසික් රසා හුසෙන්  

19  චූදිත කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්

20 චූදිත සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්

21 චූදිත මොහොම මුස්තපා මොහොමඩ් රිස්වාන්  

22 චූදිත මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි

23 චූදිත  මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා  

24 චූදිත මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි

25 චූදිත  මොහොම්ඩ් අක්‍රම් අහක්කම්

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...