The Leader News
BREAKING
Top Ad
පුවත්

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුගේ ඇප නියෝගය ජූලි 22 තෙක් කල් තබයි

T

The Leader Desk

July 20, 2026 • 2:52 PM

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුගේ ඇප නියෝගය ජූලි 22 තෙක් කල් තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "වෙනත් ආයතන 30ක් හරහා චීනයට මුදල් යවා භාණ්ඩ ගෙන්වා ඇත්තේ හවුස් ඔෆ් ෆැෂන්ස් විතරයි"
  • විත්ති පාර්ශවයේ දේශන: "සැලසුම් සහගත කුමන්ත්‍රණයක්" සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අනීතික අත්අඩංගුවට ගැනීමක් බවයි.
  • රේගු විමර්ශනයට අදාළ නිශ්චිත වටිනාකම හෝ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයකින් තොරව චීන මුදල් ඒකක (RMB) මත පදනම්ව චෝදනා ගොනු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • සැකකරු විමර්ශනවලට සහය දුන් බවත්, අත්අඩංගුවට ගත් දින රාත්‍රිය වන තෙක් රඳවා තබා ගැනීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණු බවත් පවසමින් ඔහු සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

- රේගුව Asycuda දත්ත හෙළි කරයි

"මේක තරඟකරුවන්ගේ වුවමනාවට සිංහල ව්‍යාපාරිකයකු දඩයම් කිරීමක්" - විත්ති පාර්ශවයෙන් අනීතික අත්අඩංගුවට ගැනීමක චෝදනා

රේගු තක්සේරුකරණ වංචාවක් සහ මෙරට බැංකු පද්ධතිය හරහා සිදුවූ නීති විරෝධී විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන විශේෂ විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රකට ව්‍යාපාරික, 'හවුස් ඔෆ් ෆැෂන්ස්' (House of Fashions) මෙගා මෝල් ආයතනයේ හිමිකරු ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 22 වන දා තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (20) නියෝග කළේය.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ භාරයේ සිටියදී ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකාර ව්‍යාපාරිකයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පසුබිමක මෙම නඩුකරය අද කැඳවනු ලැබීය.

විත්ති පාර්ශවයේ දේශන: "සැලසුම් සහගත කුමන්ත්‍රණයක්"

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අනීතික අත්අඩංගුවට ගැනීමක් බවයි. රේගු විමර්ශනයට අදාළ නිශ්චිත වටිනාකම හෝ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයකින් තොරව චීන මුදල් ඒකක (RMB) මත පදනම්ව චෝදනා ගොනු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

භාණ්ඩ ලංකාවට ගෙන්වා නොමැති බව බී වාර්තාවේ (B Report) ඉහළ කොටසක ද, ගෙන්වා ඇති බව එහි පහළ කොටසක ද සඳහන් කරමින් රේගුව පරස්පර විරෝධී කරුණු දක්වන බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, ව්‍යාපාරික තරඟකරුවන්ගේ වුවමනාව මත සිංහල ව්‍යාපාරිකයකු ඉලක්ක කර ගනිමින් මෙම සැලසුම් සහගත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති බවට චෝදනා කළේය.

සැකකරු විමර්ශනවලට සහය දුන් බවත්, අත්අඩංගුවට ගත් දින රාත්‍රිය වන තෙක් රඳවා තබා ගැනීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණු බවත් පවසමින් ඔහු සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ කරුණු දැක්වීම සහ දත්ත හෙළිදරව්ව

රේගු නිවාරණ පාලන අංශය සහ විමර්ශන නිලධාරීන් වෙනුවෙන් කරුණු දැක්වූ රේගු දෙපාර්තමේන්තුව විත්ති පාර්ශවයේ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. 2025 අප්‍රේල් 4 වන දින ආරම්භ කරන ලද මෙම විශේෂ විමර්ශනයට අනුව, 'හවුස් ඔෆ් ෆැෂන්ස්' ආයතනය විසින් ආනයනය කරන ලද භාණ්ඩවල වටිනාකම රේගුවට සිතාමතාම අවප්‍රමාණය කර (Under-invoicing) පෙන්වා ඇති බව රේගුව පැහැදිලි කළේය.

රේගුවේ විදේශ ප්‍රේෂණ දත්ත පද්ධතිය (External Remittance Monitoring) මඟින් අනාවරණය වී ඇත්තේ, මෙරට බැංකු පද්ධතිය හරහා වෙනත් ව්‍යාපාරික ආයතන 30ක් භාවිතා කරමින් මෙම සැකකරු විසින් චීන සැපයුම්කරු වෙත මුදල් ප්‍රේෂණය කර ඇති බවයි. අදාළ ආයතන 30 විසින් රේගුව වෙත කිසිදු රේගු සටහන් කරයක් (Customs Declarations) ඉදිරිපත් කර නොමැති අතර, රේගුවේ Asycuda දත්ත පද්ධතියට අනුව එම චීන සැපයුම්කරු එවා ඇති සියලුම භාණ්ඩ ලැබී ඇත්තේ සැකකරුගේ 'හවුස් ඔෆ් ෆැෂන්ස්' ආයතනයට පමණක් බව තහවුරු වී ඇත.

පරස්පර ප්‍රකාශ සහ දත්ත විනාශ කිරීමේ සැකය

සැකකාර ප්‍රියලාල් බන්දුල විසින් රේගුව හමුවේ ලබා දුන් ප්‍රකාශයන්, ඔහුගේ බිරිඳ වන ආයතනයේ අනෙක් අධ්‍යක්ෂිකා පතාකා නීලමනී රාජපක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී එරංග පුෂ්ප කුමාර යන අයගේ ප්‍රකාශයන් සමඟ බරපතල ලෙස පරස්පර වන බව රේගුව අධිකරණයට දැනුම් දුන්නේය.

මූල්‍ය ප්‍රධානියාගේ පරිගණකයේ තිබූ Excel ලේඛන පරීක්ෂා කිරීමේදී රේගුවට ඉදිරිපත් කළ අඩු අගයක් සහිත ඉන්වොයිස් පත්‍රයට අමතරව, සැබෑ පිරිවැය ඇතුළත් ඉංග්‍රීසි ලේඛන හමු වී ඇති අතර, ඒ අනුව ආනයනික භාණ්ඩවල වටිනාකම චීන යුවාන් (RMB) 10,699,370.11ක් (ලංකා රුපියල් මිලියන ගණනක්) වන බව අනාවරණය වී ඇත. සැකකරුගේ බිරිඳගේ ජංගම දුරකථනයේ තිබී ද මෙලෙස සැපයුම්කරු වෙත රහසින් යැවූ මුදල් වගුවක් හමු වී තිබේ.

රේගු ආඥාපනතේ 127 (ඇ) වගන්තිය ප්‍රකාරව මෙම රේගු වරදට අදාළ භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියනය සීමාව අතික්‍රමණය කර ඇති බවත්, සැකකරු නිදහස් කළහොත් විමර්ශන දත්ත විනාශ කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත් පෙන්වා දුන් රේගුව ඇප දීමට විරෝධය පළ කළේය.

දෙපාර්ශවයේම දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන ජූලි 22 වන දා දක්වා කල් තැබීමට නියම කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...