BREAKING
විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●
Top Ad
පුවත්

කළු ආර්ථිකය බිඳ දමමින් 22 වැනි සංශෝධනය සම්මත කරන බව ජනපති කියයි

T

The Leader Desk

September 6, 2026 • 5:27 PM

කළු ආර්ථිකය බිඳ දමමින් 22 වැනි සංශෝධනය සම්මත කරන බව ජනපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 15-20ක ලිපිගොනු ලෙහෙද්දී දූෂිතයන් තානාපති කාර්යාල වෙත දුවන බවට අනාවරණයක්
  • ‘හොරා-පොලිස්’ නාටකය අවසන් අතීතයේදී දේශපාලනඥයන් සහ නිලධාරීන් අතර පැවති සම්මුතීන් මත නීතිය ක්‍රියාත්මක වීම හුදු සංදර්ශනයක් බවට පත්ව තිබූ ආකාරය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
  • ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ වෙන කණ්ඩායමක් ඇවිත් ඇත්තටම පොලීසිය එවාවි කියලා.
  • මෙච්චර කල් විහිළුවට තිබුණු හොරා-පොලිස් සෙල්ලම දැන් ඇත්තටම ක්‍රියාත්මක වෙනකොට තමයි මේ හැමෝම කලබල වෙලා තියෙන්නේ," යනුවෙන් ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඩොලර් බිලියනයක කාන්දුව වැළකීමෙන් පසු රාජ්‍ය ආදායම හා සුබසාධන වියදම් ඉහළට

පසුගිය පාලන සමයන්හිදී සිදුවූ මහා පරිමාණ දූෂණ හා වංචාවලට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට නීතියෙන් ගැලවීමට ඉඩ නොතබන බවත්, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු නොහරවා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

බුලත්සිංහල ප්‍රදේශයේ අද පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී තිබූ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී මෙරට ආර්ථිකය හා රාජ්‍ය පද්ධතිය ගිලගත් මහා පරිමාණ විනාශයක සැබෑ ගැඹුර පැහැදිලි වන බවයි.

‘හොරා-පොලිස්’ නාටකය අවසන්

අතීතයේදී දේශපාලනඥයන් සහ නිලධාරීන් අතර පැවති සම්මුතීන් මත නීතිය ක්‍රියාත්මක වීම හුදු සංදර්ශනයක් බවට පත්ව තිබූ ආකාරය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

"ඉස්සෙල්ලා ඔක්කොම ‘හොරා හොරා’ කියලා පස්සෙන් පොලීසිය පන්නනවා. ඊට පස්සේ හොරා ගිහින් හැංගෙනවා. ඇඳිරිය වැටුණාම ඔක්කොම එකතු වෙලා තේ කෝප්පයක් බීලා, යාළුවෙක්ගේ ගෙදර ගිහින් විසිර යනවා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ වෙන කණ්ඩායමක් ඇවිත් ඇත්තටම පොලීසිය එවාවි කියලා. මෙච්චර කල් විහිළුවට තිබුණු හොරා-පොලිස් සෙල්ලම දැන් ඇත්තටම ක්‍රියාත්මක වෙනකොට තමයි මේ හැමෝම කලබල වෙලා තියෙන්නේ," යනුවෙන් ඔහු පැවසීය.

වසර 15-20ක් තිස්සේ ඇනහිට තිබූ පැරණි නඩු සහ විමර්ශන රැසක් එකවර විභාගයට ගැනීමේදී දිනපතා විවිධ පුද්ගලයන් නීතියේ රැහැනට හසුවන බවත්, වසර 20 ඉක්මවූ පසු කාලාවරෝධ නීතිය යටතේ නඩු පැවරීමට ඇති නෛතික බාධා මඟහරවා ගැනීම සඳහා විමර්ශන කඩිනම් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. එසේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන විට ඇතැම් පාර්ශ්ව ඊට 'දේශපාලන පළිගැනීම්' යන ලේබලය ඇලවීමට උත්සාහ කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

22 වැනි සංශෝධනය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නුදුරේදීම ලැබීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම තීන්දුව ලැබුණු වහාම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කරගන්නා බව කියා සිටියේය.

"අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඉදිරියට ගේනවා. එතකොට කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත්වෙලා එම්බසි ගාණේ දුවනවා, ලෝකයේ සංවිධානවලට ලියනවා. නමුත් අපි තීන්දු තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන්. ගන්න කිසිදු තීරණයක් ආපස්සට හරවන්නේ නැහැ," යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා කොළඹ නගරය තුළ පමණක් අලුතින් මහාධිකරණ 7ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ලබන වසරේ සිට පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී හෙතෙම කියා සිටියේය. මීට අමතරව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පහසුකම් සැලසීම හේතුවෙන් එක් මසක් තුළ වාර්තා 9,084ක් නිකුත් කිරීමට හැකිවූ බවද සඳහන් කෙරිණි.

කළු ආර්ථිකයේ කාන්දුව නතර කිරීම සහ ආදායම් වර්ධනය

මෙරටින් රහසිගත මාර්ග ඔස්සේ විදේශයන් වෙත ඇදී ගිය කළු ආර්ථිකයේ වටිනාකම සමස්ත තේ අපනයන ආදායමට සමාන ඩොලර් බිලියනයක් පමණ වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රේගුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විමර්ශන හරහා එම කාන්දුවීම් නතර කළ බව ප්‍රකාශ කළේය.

බදු මුදල්, රාජ්‍ය ගාස්තු සහ ඉඩම් බදු දීම් හරහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු ආදායම් නිසි ලෙස එක්රැස් කිරීම හේතුවෙන්, වසර 30කට පසු දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.7%ක වැඩිම රාජ්‍ය ආදායම 2025 වසරේදී වාර්තා කිරීමට හැකිවූ බවත්, 1957 වසරෙන් පසු අඩුම අයවැය හිඟය වාර්තා වූ බවත් ඔහු පැහැදිලි කළේය.

හිතුමතේ සිදුකළ නාස්තිකාර ව්‍යාපෘති වෙනුවට ප්‍රමුඛතා හඳුනාගෙන රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 2ක් වෙන්කර ඇති බවද, ප්‍රාදේශීය සංවර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකු වෙතම රුපියල් කෝටි 200ක විශේෂ සංචිතයක් ලබාදීමට කටයුතු යොදා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජ සුබසාධන වැඩපිළිවෙළේ ව්‍යාප්තිය

රාජ්‍ය ආදායම නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් ජනතා සුබසාධනය ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.

| ආබාධිත පුද්ගලයන් සඳහා වූ මාසික දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමීම.


| වැඩිහිටි පුරවැසි මාසික දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා වැඩි කිරීම.

| මව්පිය රැකවරණය අහිමිව ළමාරක්ෂක නිවාසවල වෙසෙන දරුවන් වෙනුවෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් මසකට රුපියල් 5,000 බැගින් වූ දීමනාවක් ඔවුන්ගේම බැංකු ගිණුම්වලට බැර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම.

මෙම නෛතික සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ පැවති දූෂිත පාලන රටාව වෙනුවට විනිවිදභාවයෙන් යුතු පාලන ව්‍යුහයක් ස්ථාපිත කරන බව ජනාධිපතිවරයා සිය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...