වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 අප්‍රේල් 30 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේ එදින ගොඩ ගත් මිනිස් අස්ථිය නව යොවුන් වියේ පසුවන්නකුගේ විය හැකි බවට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිරීක්ෂණය වී ඇති බවයි.
"අද දින මිනිස් ඇටසැකිල්ලක් ගොඩ ගත්තා. ඒ අනුව මිනිස් ඇටසැකිලි 241ක් හඳුනාගෙන ඇති අතර ඉන් 240ක් ගොඩ ගෙන තිබෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මතය අනුව, අද කැනීම් කැණීම් කරන ලද 232 වැනි අංකය දරන ඇටසැකිල්ල නව යොවුන් වියේ පසුවන්නකුගේ වෙන්න පුළුවන්."
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසුව 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ විය. තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ තෙවැනි දිනය වු අප්‍රේල් 29 වැනි බදාදා කැනීම් භුමියෙන් කළු පැහැති පස් කොටස් හමුව තිබුනි.
නීතිඥ වී එස් නිරංජන් අප්‍රේල් 30 වැනිදා මාධ්‍ය වේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කළේ කැණීම් වලින් ගොඩ ගත් කළු පැහැති පස් කොටස් පරීක්ෂා කළ විට එහි තිබී කාසියක් ද හමුව ඇති බවයි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි. එම සියළු අස්ථි හමුවී තිබුනේ කැනීම් වළේ අඩි එක හමාරත්, දෙකත් අතර ගැඹුරක් තුලදීය.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 අප්‍රේල් 30 වැනිදා මාධ්‍ය වේදීන් හමුව තව දුරටත් හෙළි කර තිබුනේ දෙවැනි අදියරේ කැනීම් වලදී ගොඩ නොගෙන ඉතිරි වු මිනිස් අස්ථි පඤ්ඤරය තවමත් ගොඩ ගෙන නොමැති අතර එය කැනීම් භුමියේම සංරක්ෂනය කර පවතින බවයි.
"කැනීම් භුමිය අංක 1 සහ අංක 2 ලෙස හඳුනා ගනිමින් කැණීම් කටයුතු සිදු කරලා තියනවා. දෙවැනි කැනීම් භුමියේ දැනටමත් මිනිස් ඇටසැකිලි නවයක් ගොඩට අරගෙන තියනවා. පළමු කැනීම් භූමියේ මිනිස් ඇටසැකිලි 231ක් හමුවු නමුත් එහි 218 වැනි අංකය දරන මිනිස් ඇටසැකිල්ල තවමත් ගොඩ ගෙන නැහැ. එය සංරක්ෂණය කර තිබෙනවා."
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.




