අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බව වාර්තා වී තිබේ.
එම වාර්තාවලට අනුව, මහා භාණ්ඩාගාරය විසින් ද්වීපාර්ශ්වික එකඟතාවක් මත ඕස්ට්‍රේලියාවෙන් ලබාගත් ණය මුදල ආපසු ගෙවීමේදී එහි තොරතුරු හැකර්වරුන් විසින් ලබාගෙන ඔවුන් ව්‍යාජ ගිණුම් අංකයක් ලබා දී මෙම මුදල් වංචනිකව ලබාගෙන ඇත.
මෙය සිදුවී ඇත්තේ මීට මාස 03කට පමණ පෙරදීය. එහෙත් ඒ බව අනාවරණය වී ඇත්තේ මේ සතියේදීය.
සිද්ධිය අනාවරණයවීමෙන් පසු නිලධාරින් හතර දෙනකුගේ වැඩ තහනම්කොට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ සඳහා තාක්ෂණ විමර්ශන කමිටුව නමින් පරීක්ෂණ කමිටුවක් පත්කොට ඇත. එය අතිරේක භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය. එහෙත් මෙම කමිටුව මගින් එම සිද්ධිය විමර්ශනය කිරීම වරද කළ අයගෙන්ම වරද කුමක්දැයි විමසීම වැනි ක්‍රියාවලියකි.
මෙම ණය මුදල ගෙවීම සඳහා නිර්දේශ ලබාදිය යුත්තේ මහ භාණ්ඩගාර ලේකම්වරයා සහ අතිරේක ලේකම්වරුන් විසින්ය. එවන් තත්ත්වයක් තිබියදී මහ බැංකු ඉතිහාසයේ මුල්වරට සිදුවූ මෙම දැවැන්ත වංචාවේ වගකීම භාරගත යුතු අයලවාම අදාළ විමර්ශනය කිරීම විහිලුවක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.
ඉතිහාසයේ මුල්වරට මහ බැංකුවෙන් ඇ.ඩො. ලක්ෂ 25ක් (රු. මිලියන 800) උස්සලා !
කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසුයේ, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදලක් ගියේ කාගේ ගිණුමකට දැයි ජනාධිපතිවරයා වහාම රටට හෙළිදරව් කලයුතු බවයි.
''අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම, ගල් අඟුරු වංචාව වගේම මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා '' යැයි ද ඔහු කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
"එක පැත්තකින් ආණ්ඩුව බාල ගල් අඟුරු ගේනවා. ඒ පාඩුව ජනතාව පිට දානවා. තවත් පැත්තකින් දැන් බලන් යනකොට ආණ්ඩුව නොදැනුවත්වම තමන්ගේ නිලධාරීන් ආණ්ඩුවේ මුදල් හොර ගිනුම් වලට දාගෙන තියෙනවා. දැන් කියන්නේ මොකක්ද ඊ මේල් මාර්ගයෙන් ආපු ස්පෑම් එකක් නැත්නම් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා ලැබුණු තොරතුරක් මත ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් කරලා තියෙනවා. එහෙම තමයි දැනගන්න තියෙන්නේ. මේක වෙලා තියෙනවා කියන්නෙත් දෙසැම්බර් මාසේ ගිය අවුරුද්දේ. හැබැයි ආණ්ඩුව අද වෙනකම් ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද.
මේ කාගේ ගිණුමකටද ඩොලර් මිලියන 2.5ක් ගියේ. නැත්නම් ඊට වඩා වැඩි මුදලක් ගියාද. දැන් එක කාලයක් යහපාලන ආණ්ඩුව ජේවීපී එකත් එක්ක සන්ධානගත වෙලා දූෂණ මර්දන කමිටුවක් කියලා හදාගෙන හොරු අල්ලනවා කියලා යන ගමන් මහබැංකුව මංකොල්ල කෑවා. දැන් ඒ අයම නැවත වතාවක් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හොරු අල්ලනවා කියලා කියාගෙන යන ගමන් මුදල් අමාත්‍යාංශයේ සල්ලිත් තමන්ගේ ගිණුම් වලට දාගන්න තැනට පත්වෙලා තියෙනවා. මොකද මුදල් අමාත්‍යාංශයට යම් ගෙවීමක් කරන්න හෝ යම් ණයක් හෝ යම් පොලියක් ගෙවන්න හෝ කියලා ඊ මේල් පණිවිඩයක් එනවනම් ඒකට මුදල් ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා වගකියන්න ඕන.
ජනාධිපතිවරයාට දැන් බෑ කියන්න මගේ යටතේ හිටපු අලුත් නිලධාරීන් හතර දෙනෙක් කරපු වරදක් ඒ හින්දා දැන් අපි රස්සාවෙන් අස් කරා කියලා ජනාධිපතිවරයාට අත හෝදගන්න බෑ. ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යවරයා මේ රටේ මුදල් අමාත්‍යංශයේ ගිණුමෙන් සල්ලි ගිහිල්ල තියෙන්නෙ වෙන තැනකින් නෙවෙයි. මීට පෙර ණය ගෙව්වේ මහ බැංකුවෙන් දැන් ඒ අලුත් පනතක් මගින් මුදල් අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා. ඒ හින්දා මුදල් අමාත්‍යංශය බාර ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා ලේකම්වරයා නිලධාරීන් වගකියන්න ඕන.
ඉතින් මේ අණ්ඩුව බලයට ආපු ගමන් තමන්ගේ පක්ෂයට හිතවත් තමන්ට හිතවත් නිලධාරීන්ව පත්කරා. අවසාන ප්‍රතිඵලය තමයි සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම කඩාගෙන වැටුණ පමණක් නොවෙයි තමන්ට හිතෙන හිතෙන ගිණුම් වලට රජයේ මුදල් දාගන්න තැනට වැටිලා තියෙනවා. එක පැත්තකින් ගල් අඟුරු වංචාව යට ගහන්න ආණ්ඩුව උපරිම උත්සාහයක් දරනවා පොලිස්පතිවරයා තමන්ගේ උපරිම රාජකාරි ඉෂ්ඨ කරන්න බලනවා. හොරකම වහන්න වංචාව වහගන්න ඒ පාඩුව ජනතාව පිට දානවා.
අනිත් පැත්තෙන් ලෝක වෙළඳපොලේ වැඩියෙන්ම වියදම් කරලා තෙල් අරන් තියෙන්නේ ලංකාව. වාර්තාවකුත් තියලා තියෙන්නේ. ජාත්‍යන්තර වාර්තාවලට අනුව යුද්ධයෙන් වැඩිම මිලකට තෙල් මිලදී ගත්තු රට බවට අපි ඉතිහාසගත වෙලා තියෙනවා. ඒ ගානට ඉරානෙවත් තෙල් අරගෙන නැතුව ඇති හැබැයි ලංකාවේ ආණ්ඩුව ඒ ගානට තෙල් අරගෙන තියෙනවා.දැන් බලන් යනකොට මුදල් අමාත්‍යාංශයට ආපු හොර ඊමේල් ගිණුමකට රැවටිලා ඩොලර් මිලියන 2.5 මුදලකුත් ගිණුමකට දාගෙන තියෙනවා.දැන් කවුද මේවට වග කියන්නේ අවසානයේ ඒ පාඩුවත් ජනතාව පිට දායි.
ඔය දාන කොමිසන් දාන්නේ මේක කල් දාලා යට ගහගන්න මිසක් පරීක්ෂණ කරන්න නෙවෙයි දැන් මේ සිද්ධියත් පසුගිය දෙසැම්බර් මාසය සිද්ධ වුණා නම් මේ වෙනකන් ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද.මේක යට ගහලා හංගන් හිටිය මිසක් තීන්දුවක් ගත්තේ නෑනේ.පැහැදිලිවම මේ හොරකම හංගන්න ආණ්ඩුවට උවමනාවක් තියෙනවා . අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා.
අපි බලන් ඉන්නවා ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා හැබැයි මේ පිළිබඳව පැහැදිලිවම පරීක්‍ෂණයක් වෙන්නඕන සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ගල් අඟුරු ලංකාවට ගෙන්නුවා කියනවා කියනව ගෙන්නුව සමාගම් වලට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය. ආණ්ඩුව සමාගම ආරක්ෂා කරනවා මිසක් වංචාව හොරකම ගැන හොයන්න කටයුතු කරන්නේ නෑනේ. හැබැයි කෙනාපු සමාගමට ලොකු පාඩුවක් වෙයි ඒ හින්ද පව් වැඩේ කියලා නම් කියනවා. ඉතින් ඒ වගේ නැතුව බලන් ඉන්නවා ආණ්ඩුව ඇත්ත හොරු අල්ලනකම්. තවදුරටත් පික් පොකට් න්‍යාය හරියන්නෙ නෑ. අන්න හොරා අන්න හොරා ඇල්ලුව කියල අපේ පස්සෙන් ඇවිල්ලා තමන් මහබැංකුවයි මුදල් අමාත්‍යංශයේයි ගල් අඟුරුයි කන්ටේනර් වලිනුයි වංචා කරලා හරියන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නවා සහ පැහැදිලිවම මේවය පිටිපස්සේ ඉන්න අය පැහැදිලිවම ඉදිරියේදී රටට දැනුවත් කරනවා.''
විමර්ශනයක් සිදුකරනවද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුකරාවි '' - කැබිනට් ප්‍රකාශක
මේ අතර අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.
එහිදි පිලිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න විසින් මෙම කරුණු සම්බන්ධයෙන් යම් ලිපියක් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති බවය.
ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුවක් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රශ්නය -
ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ? විශේෂ තොරතුරක් ලැබිලා තියෙනවා රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසේ අග වනවිට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් මහා භාණ්ඩාරය 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා.
හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන්නේ අදාළ ණයකරුට නෙමෙයි. කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න.මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ දෙයක් වුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න, මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුනද?
පිළිතුර -
"මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි."
ප්‍රශ්නය-
මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකරුවෙක් සහ තවත් කෙනෙක් වැඩතහනම් කරලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා කථානායකවරයාගෙන්. මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය?
පිළිතුර -
"මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. ඉතින් කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ."
රටේ මූල්‍ය ආරක්ෂාව අනතුරේ ! - විදේශ රටකට ගෙවිය යුතු ඇ. ඩො. මි. 2.5ක මුදලක් හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවෙලා
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ගෙවීම පිළිබඳ විමර්ශනයක් වහා සිදු කළ යුතුයි - 'දිනණ දකුණ' සාමූහිකය




