CIFL සහ නේෂන් ලංකා තැන්පත්කරුවන් ඈවර කිරීමේදී අන්තිමයාට දාන පැරණි චක්‍රලේඛය වහාම වෙනස් කරනු!
මහ බැංකු තහනම මැද හොර ලිපින දමා සල්ලි එකතු කළ 'සිංහ කැපිටල්' මූල්‍ය ජාවාරම ගැන හෙළිදරව්වක්
ශ්‍රී ලංකා රජය විසින් විදේශයන් වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක (මිලියන 2.5ක) තීරණාත්මක ණය වාරිකයක් වංචනික ලෙස රටට අහිමි වී අතුරුදන් වී ඇති බවත්, මීට අමතරව රටේ බලපත්‍රලාභී මූල්‍ය ආයතන පද්ධතිය තුළ සිදුවන මූල්‍ය අපරාධ හේතුවෙන් අහිංසක තැන්පත්කරුවන් දහස් ගණනක් වින්දිතයන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (27) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම මූල්‍ය වංචාවල බර අවසානයේ රටේ සාමාන්‍ය බදු ගෙවන්නන් මත පැටවෙන බැවින්, මේ පිළිබඳව විධිමත් පූර්ණ වාර්තාවක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන බංකොලොත් වූ පසු, වත්මන් නෛතික ප්‍රතිපාදන අනුව ඈවර කිරීමේ ක්‍රියාවලියේදී (Liquidation) ප්‍රමුඛතාව හිමිවන්නේ තැන්පත්කරුවන්ට නොවේ. මෙම ක්‍රමය හේතුවෙන් දහඩිය මහන්සියෙන් මුදල් තැන්පත් කළ පුරවැසියන් අන්ත අසරණ වන අතර, බලගතු පිරිස් සම්බන්ධ මූල්‍ය අපරාධ විමර්ශන අධිකරණය තුළ 'ඉඹි ගමනින්' සිදුවීම සමස්ත මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳදැමීමට හේතු වේ.
විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රධාන මූල්‍ය අක්‍රමිකතා 3ක්
CIFL තැන්පත්කරුවන්ගේ ඛේදවාචකය:
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් (CIFL) ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීම නිසා තැන්පත්කරුවන් 4,200කට ආසන්න පිරිසක් අගතියට පත්වුණා. ආයතනය බංකොලොත් වූ පසු රජය අදියර දෙකකින් ලක්ෂ 5ක් සහ 6ක් බැගින් ගෙවුවද, ඈවර කිරීමේදී මුදල් ගෙවීමේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ මුලින්ම ඈවරකරුගේ වියදම්වලටය, දෙවැනිව මහ බැංකුවටය, තෙවැනිව සෙසු බැඳීම්වලටය. තැන්පත්කරුවන්ට අවස්ථාව ලැබෙන්නේ සියල්ලටම පසුවය. මේ නිසා තැන්පත්කරුවන්ට මුල්තැන දෙන නව චක්‍රලේඛයක් හෝ විශේෂ සහන වැඩපිළිවෙළක් වහාම අවශ්‍ය වේ.
නේෂන් ලංකා සහ සිංහපුත්‍ර පැටලිල්ල:
නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 1,000කට වැඩි පිරිසක් මේ වන විට අතරමංව සිටිති. සිංහපුත්‍ර ෆිනෑන්ස් සමඟ ඒකාබද්ධ වූ මෙම ආයතනය, 2022 වසරේදී කැන්ඩ්රිච් ෆිනෑන්ස් සමඟ ද ඒකාබද්ධ වී ඇත. මෙම ආයතන සියල්ලේම අධ්‍යක්ෂ ධුර දරා ඇත්තේ එකම කණ්ඩායමකි. පොරොන්දු පත්‍ර (Promissory notes) හරහා ගිණුම් හුවමාරුවක් සිදුකර ඇතත්, 'සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්' නමින් ලියාපදිංචි කර ඇති ලිපිනයේ එවැනි කිසිදු ආයතනයක් භෞතිකව නොමැත.
මහ බැංකු තහනම උල්ලංඝනය කිරීම:
මහ බැංකුව විසින් අදාළ ආයතන වෙත මහජන තැන්පතු එකතු කිරීම සෘජුවම තහනම් කර තිබූ වකවානුව තුළදී පවා, වින්දිතයන් රවටමින් අලුතින් මුදල් එකතු කර ඇත. මේ වන විට එම තැන්පත්කරුවන්ට මුල් මුදල හෝ පොලී ආදායම අහිමි වී ඇති අතර, සාධාරණය පතා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.
මෙම මහා පරිමාණ මූල්‍ය අපරාධය පිටුපස විවිධ බලගතු දේශපාලන හා ව්‍යාපාරික පිරිස් සිටින බැවින්, වින්දිතයන්ට නිසි සාධාරණයක් ඉටුකරමින් වංචනිකයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේය.




