වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මැයි 5 වැනි අගහරුවාදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට පුද්ගලයන් 249 දෙනකුට අයත් අස්ථි ගොඩ ගෙන ඇති අතර අද දිනයේ ද කුඩා දරුවකුගේ සිරුරක් ද පාදාගන්නා ලද බවයි.
"ඇටසැකිලි පහක් පිරිසිදු කර අංකනය කර තිබෙනවා. ඇටසැකිලි දෙකක් සම්පූර්ණයෙන්ම කැණීම් කරලා ගොඩ අරන් තියනවා. ඒ අනුව, කැණීම් කර ගොඩට ගන්නා ලද මුළු ඇටසැකිලි ගණන 249 ක්. අද කැණීම් කරන ලද ඇටසැකිලි වලින් එකක් කුඩා දරුවකුගේ."
මිනී පෙට්ටියක වළලනු ලැබූ බව පෙනෙන්නට තිබෙන ඇටසැකිල්ලක් ද කැණීම් කළ අතර පිළිස්සුණු තත්වයක් පවතින අස්ථි කොටස් කිහිපයක් ද සොයා ගෙන ඇති බව ඇය වැඩි දුරටත් සදහන් කළාය.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා පවසන්නේ කැනීම් ආරම්භයේ සිට මේ දක්වා සමුහ සුසානයෙන් කාසි කිහිපයක්ද හමුව ඇති බවයි.
"ආරම්භයේ සිට අද දක්වා කාසි කිහිපයක් සහ රන් ආභරණ ලෙස විශ්වාස කළ හැකි ආභරණයක් ගොඩ අරන් තිබෙනවා."
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසුව 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ විය.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි. එම සියළු අස්ථි හමුවී තිබුනේ කැනීම් වළේ අඩි එක හමාරත්, දෙකත් අතර ගැඹුරක් තුලදීය.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 අප්‍රේල් 30 වැනිදා මාධ්‍ය වේදීන් හමුව තව දුරටත් හෙළි කර තිබුනේ දෙවැනි අදියරේ කැනීම් වලදී ගොඩ නොගෙන ඉතිරි වු මිනිස් අස්ථි පඤ්ඤරය තවමත් ගොඩ ගෙන නොමැති අතර එය කැනීම් භුමියේම සංරක්ෂනය කර පවතින බවයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.






