චෝදනාවලට විත්තිකාරිය නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීමෙන් පසු සාක්ෂි විභාගයට අධිකරණයෙන් දින නියම වෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළ බවට චෝදනා ලබා සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හිටපු විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණිය වන හේමාලී විජේරත්නට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 27 වනදා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
නඩුවේ පසුබිම
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බාහිරව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ස්නායු ශල්‍ය රෝගීන්ට අධික මිල ගණන් යටතේ විදේශීය සමාගම්වලින් ගෙනෙන ලද ස්නායු ශල්‍ය උපකරණ (EVD සහ VP Shunts) අලෙවි කිරීම ඇතුළු රුපියල් මිලියන 30කට අධික මූල්‍ය දූෂණයක් සිදුකළ බවට වෛද්‍ය මහේෂි විජේරත්න ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් නඩුවක් ගොනුකර තිබුණි.
එම නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවකදී, සිය මවට ඇප ලබාදීමට අල්ලස් කොමිසම කළ විරෝධතාව හමුවේ කෝපයට පත්ව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයෙකුට සහ විමර්ශන නිලධාරියෙකුට බැන වැදී මරණීය තර්ජනය කළ බවට සැකකාරියගේ දියණිය වන හේමාලී විජේරත්නට එරෙහිව චෝදනා එල්ල විය.
ඒ අනුව අත්අඩංගුවට පත් වූ ඇයට එරෙහිව වෙනම නඩුවක් ගොනු කෙරුණු අතර, පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර හේමාලී විජේරත්න අදාළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කර තිබිණි.
කරුණු සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලට අදාළව සාක්ෂි විභාගය ආරම්භ කිරීම සඳහා නඩුව ලබන ඔක්තෝබර් 27 වනදා යළි කැඳවීමට නියම කළේය.




