මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් නිකුත් කරන ලද ‘2026 මාර්තු ණය බුලටින්’ වාර්තාවට අනුව, පළමු කාර්තුව අවසන් වන විට රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 37,468 ක් (බිලියන 37.46) ලෙස සටහන් වේ. මෙය 2025 සිව්වැනි කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 195 ක නාමික (Nominal) අඩුවීමකි.
කෙසේ වෙතත්, මෙරට මධ්‍යම රජයේ මුළු දේශීය හා විදේශීය ණය ඇතුළත් සමස්ත දළ පොදු ණය බර (Gross Public Debt) ඩොලර් මිලියන 98,965 ක් වැනි බිහිසුණු මට්ටමකට ළඟා වී තිබේ.
ණය උගුල තවමත් එලෙසමයි!
ලංකාවේ විදේශ ණය ව්‍යුහය දෙස බැලීමේදී බහුපාර්ශවීය ණය (Multilateral) 38% ක් ද, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ඇතුළත් වාණිජ ණය (Commercial) 34% ක් සහ ද්විපාර්ශවීය ණය (Bilateral) 28% ක් ලෙස බෙදී පවතී.
ද්විපාර්ශවීය ණය කොටසින් 59% ක්ම පැරිස් සමාජයට අයත් නොවන (Non-Paris Club) චීනය වැනි රටවල් සතු වීම විශේෂත්වයකි.
2022 මූල්‍ය කඩාවැටීමෙන් පසු, 2024 අගභාගයේදී ස්වෛරී බැඳුම්කර හුවමාරුව අවසන් කර ලංකාව යළිත් නිල වශයෙන් විදේශ ණය වාරික ගෙවීම (Debt Servicing) ආරම්භ කර ඇත.
ආණ්ඩුව ණය ගෙවීම් ක්‍රමවත් කර ඇති බව පවසමින් ‘ජයග්‍රහණ’ සැමරුවද, ඩොලර් බිලියන 37.5 ක මෙම දැවැන්ත විදේශ ණය කන්ද ඉදිරි පරම්පරා ගණනාවකගේ කරපිට පැටවී ඇති සැබෑ ‘ණය මලපුඩුව’ බව අමතක නොකළ යුතුය.
(සටහන | සම්පත් ධීරසේකර )




