මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට සහ සිරකරුවන් ගෙන්වා ගැනීමට ඉන්දීය සහාය ඉල්ලයි
L70 අවි පද්ධතිය ඇතුළු ද්විපාර්ශ්වික ගිවිසුම් තුනක් අත්සන් කෙරේ; බේලි පාලම් 3කුත් ජනතා අයිතියට
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ද්විපාර්ශ්වික නිල හමුව අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ වසර 38කට පසුව වීම මෙම හමුවේ ඇති සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික සන්ධිස්ථානයකි. මීට පෙර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වූයේ 1988 වසරේදී ය.
මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක, ආර්ථික, සාගරික සහ කලාපීය සහයෝගීතාව පුළුල් කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය.

සාගර කලාපීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම
ඉන්දියානු සාගර කලාපය හරහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළේය. ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති පසුබිමක, එම උවදුර මැඬලීමට නවදිල්ලියේ පූර්ණ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මේ වන විට ඉන්දියාවේ අත්අඩංගුවේ හෝ සිරගතව පසුවන ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට අධිකරණ ක්‍රියාමාර්ග සඳහා පිටුවහල් කරවා ගැනීමට සහාය වන ලෙසද මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් විය.
පසුගිය අසීරු කාලසීමාවන්හිදී අසල්වැසි රටක් ලෙස ඉන්දියාව ලබා දුන් මානුෂීය සහ ආර්ථික සහයෝගය ඇගයූ ජනාධිපතිවරයා, ඉන්දියානු සාගර කලාපය සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අභිප්‍රාය බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව මෙන්ම ජාතික අවශ්‍යතාද මනාව සමබර කරගනිමින් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

'අසල්වැසියා පළමුව' සහ නවදිල්ලි ප්‍රතිපත්තිය
ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" (Neighbourhood First) විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මෙහිදී ප්‍රකාශ කළේය. කලාපීය සාමය සහ ආරක්ෂාව උදෙසා කොළඹ පරිපාලනය දක්වන දායකත්වය ඇගයූ ඔහු , ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වය යටතේ දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වීම පිළිබඳවද සිය සතුට පළ කළේය.
සාකච්ඡාවලදී දෙරට අතර දිගුකාලීනව පවතින ධීවර ගැටලුව පිළිබඳවද අවධානය යොමු විය. උතුරු මුහුදු සීමාවේ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම මෙන්ම මානුෂීය ප්‍රවේශයකින් යුතුව අදාළ ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

ද්විපාර්ශ්වික ගිවිසුම් 3ක් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති
සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ආරක්ෂක සහ අධ්‍යාපනික සහයෝගීතාව තවදුරටත් පුළුල් කෙරෙන වැදගත් ගිවිසුම් ත්‍රිත්වයක් හුවමාරු කර ගැනිණි.
| L70 ගුවන් ආරක්ෂක අවි පද්ධතිය:
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු L70 වර්ගයේ මිලිමීටර් 40 ගුවන් ආරක්ෂක අවි පද්ධති නවීකරණය, නඩත්තුව සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම.
| ජාතික ආරක්ෂක විද්‍යාල සහයෝගීතාව:
ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහ උපායමාර්ගික දැනුම හුවමාරු කර ගැනීමේ එකඟතාව.
| ශිෂ්‍යභට බලකා හවුල්කාරිත්වය:
ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ජාතික ශිෂ්‍යභට බලකාය (NCC) අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පුහුණු වැඩසටහන් පුළුල් කිරීමේ ගිවිසුම. 
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් මෙම ගිවිසුම් හුවමාරු කරගන්නා ලදී.
මීට අමතරව, 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශවල ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඉදිකෙරුණු බේලි පාලම් (Bailey bridges) තුනක් මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීමද මෙහිදී සිදු විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්සීයගම සහ කැබැල්ලෑව යන මාර්ගවල ඉදිකළ පාලම් දෙක මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පලුගමම් මාර්ගයේ ඉදිකළ බේලි පාලම මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි ඉහළ පෙළේ මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්ද එක්ව සිටියහ.




