*ලියාපදිංචි නොවීම, වාර්තා සහ ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම ඇතුළු නීති උල්ලංඝනය කිරීම්වලට දින 30ක අවසාන නිවේදන
දේශීය ආදායම් බදු වගකීම් හිතාමතා පැහැරහරින පුද්ගලයන්ට සහ ව්‍යාපාරික ආයතනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, නව නීතිමය ප්‍රතිපාදන යටතේ ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ අපරාධ නඩු පැවරීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) තීරණය කර තිබේ. බදු පැහැර හැරීම් අවම කරමින් වගවීම ශක්තිමත් කිරීම උදෙසා මෙම නව බලාත්මක කිරීමේ ක්‍රියාවලිය දියත් කෙරේ.
මෙම පියවර ක්‍රියාත්මක කරනු ලබන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් සම්මත කරන ලද, 2026 ජූනි මස 3 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වූ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ ප්‍රතිපාදනවලට අනුකූලවය.
නීතිමය පියවර ගැනෙන මූලික පැහැර හැරීම්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, බදු ගෙවන්නන් පහත සඳහන් නීතිමය බැඳීම් පැහැර හරිනු ලබන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කෙරේ.
1- දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත බදු ගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වීමට අපොහොසත් වීම.
2- නියමිත පරිදි වාර්ෂික ආදායම් බදු වාර්තා (Income Tax Returns) ඉදිරිපත් නොකිරීම.
3- රඳවා ගැනීමේ බදු (Withholding Tax) සහ අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු (APIT) ප්‍රකාශන ඇතුළු නීතියෙන් නියම කර ඇති වාර්ෂික ප්‍රකාශන (Annual Statements) ගොනු නොකිරීම.
කෙසේ වෙතත්, මෙම නීතිමය පියවර ක්ෂණිකව ක්‍රියාත්මක නොවන අතර, සාධාරණත්වය තහවුරු කිරීම සහ බදු ගෙවන්නන්ට තම වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව දීම සඳහා අනිවාර්ය පියවර කිහිපයකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කෙරේ.
දින 30ක නිවේදනය සහ දඬුවම්
ඒ අනුව, යම් බදු ගෙවන්නෙකු නීතිය උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වුවහොත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රථමයෙන් එම පාර්ශවය වෙත අපරාධ නඩු පැවරීමේ අභිප්‍රාය දක්වමින් නිල ලිඛිත නිවේදනයක් නිකුත් කරනු ඇත. අදාළ ලිපිය ලැබුණු දින සිට දින 30ක දැඩි කාලසීමාවක් බදු ගෙවන්නා වෙත ලබාදෙන අතර, එම කාලය තුළ පැහැර හැර ඇති සියලුම බදු වාර්තා ඉදිරිපත් කර නීතිමය වගකීම් සම්පූර්ණ කළ යුතුය.
යම් හෙයකින් එම දින 30 ඇතුළත අදාළ පැහැර හැරීම් නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත්, එය වරදක් (Offence) ලෙස සලකා මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ කෙටි නඩු විභාගයක් (Summary Trial) පවත්වා දඬුවම් නියම කිරීමට කටයුතු කෙරේ. එහිදී වරදකරු කරනු ලබන පාර්ශවයන්ට රුපියල් 400,000ක් දක්වා වූ දඩ මුදලක්, මාස හයකට නොවැඩි සිරදඬුවමක් හෝ එම දඬුවම් යුගලයම පැනවීමට අධිකරණයට නීතිමය ප්‍රතිපාදන පවතී.
බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ සුදුසුකම් ලත් සියලුම පුරවැසියන් නීත්‍යානුකූලව රටේ ආදායම් පද්ධතියට දායක කරවා ගැනීම රජයේ අරමුණ වී ඇතැයි බදු ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. තමන්ට අදාළ බදු බැඳීම් පරීක්ෂා කර වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිගරුකව කටයුතු කරන ලෙසත්, ව්‍යවස්ථාපිත අවශ්‍යතා මඟහැරීමෙන් සිදුවන බරපතල නීතිමය ප්‍රතිවිපාකවලින් වළකින ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ව්‍යාපාරිකයන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටී.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Tax Defaulters Face Prosecution As IRD Tightens Enforcement Measures




