එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ, මෙවැනි ව්‍යාජ පුවත් හේතුවෙන් ජනතාව අනවශ්‍ය භීතියකට පත්වන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හෙට (11) වනවිට අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවය.
එහි බලපෑම දින තුනක පමණ කාලයක් පවතිනු ඇති අතර, ඒ සමඟ වර්ෂාපතනය සහ මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
ඔහු පැහැදිලි කළේ, මෙය නිරිතදිග මෝසම සක්‍රීය වීමක් නොව “පෙර මෝසම්” තත්ත්වයක් බවයි.
මැයි මාසයේ මෙවැනි කාලගුණ තත්ත්වයන් පෙර වසරවලදීද වාර්තා වී ඇති බවත්, මැයි 20 වැනිදාට පසු මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත විය හැකි බවත් ඔහු කීය.
තවද, පසුගිය දින කිහිපය තුළත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවූ බව පෙන්වා දුන් ඔහු, ඉදිරි දිනවල වර්ෂාපතනය වැඩිවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, වෙනත් වසරවලට සාපේක්ෂව අසාමාන්‍ය හෝ විශේෂ තත්ත්වයක් මේ වනවිට නිරීක්ෂණය නොවන බවද ඔහු සඳහන් කළේය.
සමාජ මාධ්‍යයේ පැතිර යන “මිලිමීටර් 300–400ක දෛනික වැසි” පිළිබඳ ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, කාලගුණ දෙපාර්තමේන්තුව දෛනික වර්ෂාපතන අගයන් පදනම් කරගෙන අනාවැකි නිකුත් කරන බවයි. දින කිහිපයක එකතුවක් ලෙස වර්ෂාපතනය ඉහළ යා හැකි වුවද, දිනකට එවැනි අගයක් වාර්තා වන බවට කිසිදු නිල අනාවැකියක් නිකුත් කර නොමැති බව ඔහු අවධාරණය කළේය.
ව්‍යාජ තොරතුරු වට්සැප් සහ ෆේස්බුක් ඔස්සේ වේගයෙන් පැතිර යන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බැවින්, ජනතාව නිල තොරතුරු පමණක් භාවිත කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කාලගුණ තොරතුරු ලබාගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 0112 686686 දුරකථන අංකය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 කෙටි දුරකථන අංකය භාවිත කළ හැකි බවද මලිත් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.




