leader s

ත්‍රිකුණාමල ‘ගන්සයිට්’ භූගත වධකාගාරයේ කාන්තාවන් ඇතුළු රැඳවියන්ට කළ අමානුෂික ලිංගික හිංසන සහ අතුරුදහන් කිරීම් ගැන CIDයෙන් අධිකරණයට සාක්ෂි


සුදු වෑන් රථවලින් පැහැරගත් තරුණියන් දෙදෙනෙකු සහ එක්දරු පියෙකු අතුරුදහන් කිරීමේ සිද්ධිවලට අදාළව නාවික හමුදා කාන්තා නිලධාරිනියන් දෙදෙනා කොටුවෙයි



යුද්ධයේ අවසාන සමයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය දෙමළ කාන්තාවන් දෙදෙනකු නැගෙනහිර ඉහළම නාවික මෙහෙයුම් මුලස්ථානයේ භූගත වධකාගාරයක රඳවා  තබා අතුරුදහන් කිරීමට සැකපිට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමුහ මංකොල්ලකෑම් අංශය විසින් අත් අඩංගුවට ගෙන  අධිකරණය හමුවට පමුණුවන ලද නාවික හමුදා නිලධාරිනියන් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ අවුරුදු ගණනාවකට ඉහතදීය .

පුද්ගලයන් පැහැරගෙන ගොස් ලිංගික වදහිංසා ඇතුළු වධබන්ධන පමුණුවා අතුරුදහන් කිරීමේ චෝදනා නගා  නාවික හමුදා නිලධාරිනියන් අත් අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන්නේ මුල්ම වතාවටය.

ත්‍රිකුණාමලය, කින්නියා පාරේ පාලඋත්තු ප්‍රදේශයේ  පදිංචිව සිටි මේරි ඩෙල්ෂියා සහ ශෂීකුමාර් තේන්මෝලි යන ඥාති  සහෝදරියන් දෙදෙනා 2008 මැයි 13 වැනි දින පැහැර ගෙන ගොස් කුප්‍රකට ගන්සයිට් භූගත සිර මැදිරියේ රඳවා තබා ගෙන වධහිංසා පමුණුවා  අතුරුදහන් කරන ලද බවට චෝදනා එල්ල වී ඇත්තේ ලුතිනන් කොමාන්ඩර් කෝදාගොඩ හේවාවිතාරණ දීපිකා සඳමාලි සහ සුළු නිලධාරිනි  මිහිඳුකුලසූරියගේ අරුණි දිනූෂා කාවුස් යන දෙදෙනාට ය.

පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙන වාර්තාවලට අනුව මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන්නේ වසර ගණනාවකට පෙර වන අතර, ඒ කාලය තුළදී නිලධාරිනියන්ගෙන් අවස්ථා ගණනාවකදීම ප්‍රශ්න කළ බව අධිකරණයට වාර්තා වී තිබේ.


මහේස්ත්‍රාත්ට රහස් ප්‍රකාශයක්

පොලිසිය අධිකරණයට පවසා ඇත්තේ දෙමළ කාන්තාවන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් තවත් නාවික නිලධාරීන් කිහිප දෙනකුද චෝදනා ලැබ සිටින බවයි.
 
"මේරි ඩෙල්සියා සහ තේන්මෝලි යන දෙදෙනාද 2008.05.13 වන දින මෙම නඩුවේ 6, 7, 13 සහ 14 යන සැකකරුවන් හා සැකකාරියන් විසින් පැහැරගෙන ගොස් ඇති බවත්, මේ වන තෙක් එම කාන්තාවන් දෙදෙනා අතුරුදහන්ව ඇති බවටද කරුණු අනාවරණය වී ඇති අතර ඒ සඳහා මෙම නාවික හමුදා විශේෂ බුද්ධි අංශය සම්බන්ධ බවත්, එම වින්දිත කාන්තාවන් දෙදෙනා ගන්සයිට් සිර මැදිරිවල සිටි බවටද අනාවරණය වී ඇත," යි 2018 දී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබෙන පොලිස් වාර්තාවක  දැක්වෙයි.

සාක්ෂිකරුගේ නම සඳහන් නොකර පොලිසිය විසින් අධිකරණයට දී ඇති එම ප්‍රකාශයට අනුව හඳුනාගෙන ඇති අනෙක් සැකකාර නාවිකයන් වන්නේ මිල්ල විතානච්චිගේ කෝසල චමින්ද  සහ  පොල්වත්ත විදානලාගේ සම්පත් ජානක කුමාරයි.

දෙමළ තරුණියන් දෙදෙනා රඳවා තැබූ ගන්සයිට් භූගත කඳවුරේ සිරමැදිරි තුළ දිනුෂා කාවුස් සහ දිපීකා සඳමාලි සිටි බවට අනන්‍යතාවය ඒ මොහොතේ හෙළිදරව් නොකළ රැඳවියකු විසින් ද සාක්ෂි දී ඇති බව අපරාධ පරීක්ෂකයන් විසින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට ඇති තවත් වාර්තාවකින් අනාවරණය වේ.

ඇසින් දුටු සාක්ෂි

"දෙමළ ගැහැණු ළමුන් දෙදෙනෙකු සිටි බවට සඳහන් කරන අතර එම ගැහැණු දෙදෙනා අක්කා සහ නංගී යනුවෙන් සඳහන්  කරන අතර එම දෙදෙනා වෙනම සිර මැදිරියක සිටි බවට සඳහන් කරන අතර ලොකු කුමාර, පොඩි කුමාර, රත්නායක ලසන්ත, රණසිංහ සර්, සින්නා, මුරලි, ගාමිණී, බණ්ඩාර යන අය හා දර්ශන සර්, අබේකෝන්, අමරසිංහ, උපුල් යන අයත් කාන්තා නාවිකයන් වන සඳමාලි හා කාවුස් යන අයත් මෙම සැකකරුවන්ගේ ආරක්ෂාවට සිටි බවත් සඳහන් කරයි. සඳමාලි හා කාවුස් යන දෙදෙනා රඳවා සිටි සැකකරුවන්ගේ ආරක්ෂාවට සිටි බවත් ඉහත සඳහන් කාන්තාවන් දෙදෙනා දින දෙකකට පසු එළියට අරගෙන ගිය බවත්, නැවත රැගෙන ආවේ නැති බවත් සඳහන් කරන අතර..." යනුවෙන් එම රැඳවියා විසින් ලබා දී තිබෙන දීර්ඝ ප්‍රකාශයෙහි දැක්වේ.        

සුදු වෑන් රථයකින් පැහැරගෙන විත් අතුරුදහන් කර ඇති මෙම දෙමළ තරුණියන් දෙදෙනා ගේ සහෝදරයන් සහ ඥාති සහෝදරයන් කිහිප දෙනකු ද ඒ සමයේම ගන්සයිට් භූගත සිර මැදිරියේ රඳවා තබා ගෙන සිට දරුණු ශාරිරික හා මානසික වධහිංසාවන්ට ලක් කොට ඇති බවටත් විමර්ශකයන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙන වාර්තාවල සඳහන් ය.

වධක පැටිකිරිය

මෙම නාවික නිලධාරිනියන් දෙදෙනා ගන්සයිට් භූගත වධ  කඳවුර භාරව සිටි කොමදෝරු (විශ්‍රාමික) රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක යටතේ කටයුතු කර ඇති බවත්, ඔහු විසින් අණ ලබාදුන් නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකය කොළඹ සහ සෙසු පලාත්වලින් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැහැරගෙන එන ලද දෙමළ ජාතිකයන්ට මෙන්ම යුද සමයේදි නාවික හමුදාව අල්ලාගත් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ බවට සැක කෙරෙන්නන් ද රැකවල් ලා ගැනීමේ කාර්යය මොවුන් දෙදෙනාට පැවරී ඇති බවත් විමර්ශනවලින් හෙළිදරව් වී තිබේ. එමෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගන්සයිට් භූගත සිර මැදිරි සංකීර්ණය සම්බන්ධයෙන්  පසු කලෙක සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර කාන්තාවන් විසින් සිදු කොට ඇති තවත් අපරාධ සහ පුද්ගල අතුරුදහන් කිරීම් කිහිපයකම තොරතුරු හෙළිදරව් කර ගෙන ඇත.

ඉන් ප්‍රධානතම සිදුවීමක් වන්නේ අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ, පසුව අලව්ව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි  2010 ජූලි මස 26 දා අලුයම අතුරුදහන් වූ බව පොලිසිය පැවසු කෑගල්ල  මල්වත්ත කන්ද, ඇකිරියගල පදිංචිව සිටි එක්දරු පියකු වු ගනේරාළලාගේ ශාන්ත සමරවීර පිළිබඳ විමර්ශනය යි.

ඔහු  රෝහලේ සිටියදි යම්  පිරිසක් විසින් පැහැරගෙන විත් නාවික හමුදා කණ්ඩායමකට භාර කොට පසුව ගන්සයිට් භූගත සිරිමැදිරියේ රඳවා සිට ඇති අතර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ බව සනාථ කෙරෙන සාක්ෂි ගණනාවක් විටින් විට අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුණි.

යුද්ධයේ අවසාන කාල වකවානුවේදී කොළඹ හා ඒ අවටින් පිය පුතු හතරදෙනකුද ඇතුළු පිරිමි එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබුවේද ගන්සයිට් වධකාගාරයේ රඳවා තබා වද දීමෙන් අනතුරුවය.

ඒ අපරාධය සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන පිරිස අතර හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධනද වෙති.

නාවික සෙබලියන්ගේ ලිංගික වධහිංසා

මෙයින් 16 අවුරුද්දකට ඉහතදී ශාන්ත සමරවීර  අතුරුදහන් කිරීමේ සිදුවීමට අදාලව මේ සතියේ අත් අඩංගුවට ගෙන  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබු අරුණි දිනුෂා කාවුස් සහ දීපිකා සඳමාලි නාවික නිලධාරිනියන් දෙදෙනා නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක  මෙන්ම නාවික හමුදා හිටපු විශේෂ බුද්ධි අධ්‍යක්ෂ කොමදෝරු  විශ්‍රාමික රියාර් අද්මිරාල් ඩී.කේ. පී දසනායක, කොමදෝරු සුමිත් රණසිංහ ඇතුළු කණ්ඩායම සමඟ එකතුව තවත් බොහෝ අපරාධ සිදුකරන්නට ඇතිද යන්න විමර්ශනය කරමින් සිටින බව අපරාධ පරීක්ෂණය පිළිබඳව දන්නා නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ නිලධාරියෙක් කියා සිටී.

සැකකාර නිලධාරිනියන් දෙදෙනා,  තමන් ගන්සයිට් භූගත වධකාගාරයේ  සිර මැදිරි තුළින් පිටතට ගෙන  ලිංගික හිංසන සිදුකළ බවත්, ‘සරම ගලවා’ හස්ත කර්මයේ යෙදෙන්නට බල කරමින් ‘දැඩි ලිංගික හිංසනයට හා ලැජ්ජාවට’ පත් කළ බවත් රැඳවියන්ගේ කම්පා සහගත ප්‍රකාශ උපුටා දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවල සඳහන් වෙයි.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්