නියෝජ්‍ය ඇමැති උපදෙස් නොතකා ප්‍රතිකාර පමාවීම
බදුල්ල පළාත් මහ රෝහලේ සහ හම්බන්තොට මහ රෝහලේ සවිකර ඇති අතිනවීන 'ලීනියර් ඇක්සලරේටර්' (Linear Accelerator) පිළිකා විකිරණ ප්‍රතිකාරක යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ වසා දමා ඇතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බදුල්ල රෝහලේ යන්ත්‍රය සවිකර මාස 6ක් සහ හම්බන්තොට රෝහලේ සවිකර මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් රෝගීන්ට සත්කාරය ලබාදීම පමා කරමින් සිටින බවයි.
මාත්‍රා මාන උපකරණ අර්බුදය සහ විකල්ප විසඳුම
පිළිකා සෛලවලට නිවැරදි විකිරණ ප්‍රමාණය නිකුත් කෙරෙන්නේදැයි මැන බලන 'මාත්‍රා මාන උපකරණ' (Dosimetry Equipment) අදාළ රෝහල්වලට ලැබෙන තුරු යන්ත්‍ර ක්‍රියාත්මක කළ නොහැකි බව ඇතැම් වෘත්තිකයන් පවසන බව සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නව උපකරණ ලැබෙනතුරු මහරගම අපේක්ෂා රෝහල සතු මාත්‍රා මාන උපකරණ තාවකාලිකව භාවිත කරමින් කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කරන ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා බදුල්ල රෝහල් නිරීක්ෂණයේදී උපදෙස් දී තිබිණි. පෙර අවස්ථාවලදීද අනෙකුත් රෝහල්වලට මෙවැනි ක්‍රමවේද සාර්ථකව අනුගමනය කළ බව සභාපතිවරයා සිහිපත් කරයි.

කෝටි සිය ගණනක ආයෝජනය සහ පොරොත්තු ලේඛන පීඩනය
වසර ගණනාවක් ඇණහිට තිබූ මෙම යන්ත්‍ර 5 මිලදී ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මැදිහත්වීමෙන් සිදුවූවකි. එක් ඒකකයක් සඳහා රුපියල් මිලියන 1000කට වැඩි මුදලක් වැය කරමින් බදුල්ල, හම්බන්තොට, රත්නපුර, කුරුණෑගල සහ අනුරාධපුර රෝහල් වෙත මෙම පහසුකම් වෙන්කර තිබේ.
රත්නපුර රෝහලේ කාමර සකස් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් දෙවන අදියර පමාවෙද්දී, සියලු කටයුතු නිමවූ බදුල්ල සහ හම්බන්තොට යන්ත්‍ර මෙලෙස අක්‍රියව තැබීම නිසා මහරගම සහ මහනුවර රෝහල්වල පොරොත්තු ලේඛන මාස ගණනකින් දිගු වන බව සංගමය පෙන්වා දෙයි.
රජයේ රෝහල්වල ප්‍රතිකාර පමාවන විට අසරණ රෝගීන්ට පෞද්ගලික රෝහල් වෙත ගොස් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා අධික වියදමක් දැරීමට සිදුවේ. රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරනු වස් වහා මැදිහත් වී මෙම යන්ත්‍ර මඟින් විකිරණ ප්‍රතිකාර වහා අරඹන ලෙස රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.



