පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ, රජය දුන් මුල් පොරොන්දු සහ වත්මන් ආර්ථික ක්‍රියාමාර්ග අතර පරතරය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ පොදු ජනතාව බවයි.
ගොඩබෑමේ මිල සහ බදු යථාර්ථය
කොමිස් මුදල් අහෝසි කර, තෙල් නැවෙන් ගොඩබෑමේ පිරිවැයටම පාරිභෝගිකයාට ඉන්ධන ලබාදෙන බවට ලබාදුන් සහතිකය අද වන විට ක්‍රියාත්මක නොවන බව විපක්ෂය චෝදනා කරයි.
පොරොන්දු වූ පරිදි ඉන්ධන බදු අඩු කිරීම වෙනුවට, පෙර පැවති බදු ප්‍රමාණය ද ඉක්මවා රජය බදු අය කරමින් සිටින බවත්, එම බදු බරෙහි අවසන් බිල්පත පාරිභෝගිකයා මත පැටවී ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ජීවන බර, උද්ධමනය සහ එකතැන පල්වන ආදායම්
කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාම හමුවේ දෛනික ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ ගියද, ඊට සමාන්තරව ජනතාවගේ ආදායම් මාර්ග හෝ වැටුප් වැඩි නොවීම බරපතළ පීඩනයක් නිර්මාණය කර තිබේ.
නිල වාර්තාවල උද්ධමනය 8% ඉක්මවා ඇති බව සඳහන් වුවද, මාසිකව සාමාන්‍ය පවුලක වියදම දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. පාලකයින් පෝලිම් යුගය නිමා වූ බව ප්‍රකාශ කළද, ග්‍රාමීය හා නාගරික තලයේ ගෑස් සහ ඉන්ධන පිළිබඳ ජනතා කසුකුසුව තවමත් නිම වී නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
අර්බුදයට විසඳුම නව බදුද? නැතහොත් දඩයමද?
ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම වෙනුවට නව බදු පැනවීම හෝ "හොරු ඇල්ලීමේ" නාමයෙන් විමර්ශන පවත්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සාර්ථක ආර්ථික උපායමාර්ගයක් නොවන බව විපක්ෂයේ මතයයි.
පසුගිය දෙවසරකට අධික කාලය තුළ ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමට, දරුවන්ගේ පාසල් වියදම් ලිහිල් කිරීමට හෝ ගෘහස්ථ ආර්ථිකය සුරක්ෂිත කිරීමට කිසිදු තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුවට ගැටලුවක් මතු වූ සැණින් සිදු කරන්නේ විපක්ෂය මෙන්ම ජනතාව ද මර්දනය කිරීම බවට චෝදනා කළේය.
(සටහන | නිපුන් ඒකනායක)



