ඔක්තෝම්බර් 09 වැනිදා න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද චෝදනා 50කින් යුතු එම යෝජනාව පසුගිය 03 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් ආණ්ඩුව එය මඟහැරියේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා විනාශ කරමිනි.
ඒ සමඟම විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර කරුණු විමසීමට සජිත් ප්රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කළ අතර, ඒ අනුව එය කඩිනමින් සකසා කථානායක කාර්යාලයට භාරදීමටද සජිත් පියවර ගත්තේය.
එහෙත් ඊට මුහුණදීමට නොහැකි වූ කථානායක ජගත් වික්‍රමරත්න, පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කථානායකවරයාට පවරා පාර්ලිමේන්තුවෙන් පලාගොස් තිබිණි.
සභා ගර්භය උණුසුම් කළ මුජිබර් සහ අජිත්
සිය වරප්‍රසාද ප්‍රශ්නයට ඉඩදෙන්නැයි විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි විසින් ප්‍රතික්ෂේප කළේ, එය අධ්‍යයනය කිරීමට තමන්ට නොහැකි වූ බව පවසමිනි. ඒ මොහොතේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් විය.
එක්වරම අසුනින් නැගී සිටි මුජිබර් නියෝජ්‍ය කථානායකවරයාට කීවේ, “බයවෙන්න එපා... මේක විවාදයට ගන්න ඉඩ දෙන්න” කියාය.
අජිත් පී පෙරේරාද විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම ගැන කරුණු දැක්වීමට පියවර ගත්තේය.
“රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන චෝදනා 17ක්. අල්ලස් චෝදනා 20ක්. අපක්ෂපාතීත්වය ගැන චෝදනා 13ක්. මෙච්චර බරපතළ චෝදනා එල්ලවී තිබියදී මේ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමද ප්රජාතන්ත්රවාදය කියන්නේ? චෝදනාවලට බයේ කථානායකවරයා අද පැනලා ගිහිල්ලා. ව්‍යාජ රීති ඉදිරිපත් කරමින් විවාදය අවලංගු කරන්න ආණ්ඩුවට අයිතියක් නෑ.”
සජබ විරෝධයෙන් ආණ්ඩුව තිගැස්සෙයි
නියෝජ්‍ය කථානායකවරයාගේත් ආණ්ඩුවේත් නොහික්මුණු හැසිරීම හමුවේ විපක්ෂ කණ්ඩායම සභා ගර්භය මැදට පැමිණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සත්‍ය යටපත් නොකරන ලෙසය.
“කවුද ගත්තෙ ගෙවල් දෙකක්” අජිත් එහෙම කියද්දී සමගියේ ටීම් එක “කථානායක ගත්තෙ ගෙවල් දෙකක්” කියමින් විරෝධය දියත් කළේය. “කවුද ගත්තෙ කොට්ට දෙකක් - කථානායක ගත්තෙ කොට්ට දෙකක්” වැනි හඬවල්ද විරෝධතාව අතරතුර ඇසෙන්නට විය.
ඒ මොහොතේ කරකියා ගැනීමට දෙයක් නොමැතිව සිටි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් බොහොමයක් සභා ගර්භයෙන් එළියට යන ආකාරය මාධ්‍ය කුටියේ සිටි මාධ්‍යවේදීන්ට දැකගැනීමට හැකි විය.
විපක්ෂයේ විරෝධයට එරෙහිව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස, “ඔයාලා සභාව මැදට ඇවිත් ජගත් විතානට හොරා හොරා කියනවා. මොකද්ද මේ කරන්නේ” යනුවෙන් විමසද්දී දෙපාර්ශ්වයේම වාග් ප්‍රහාර මැද අජිත් පී පෙරේරා මහ හඬින් ඊට උත්තර දුන්නේය.
“අපි චෝදනා කරන්නේ ඔයාලගෙ හොර කථානායක ජගත්ට. හොරකම් කරපු, බලය, මහජන දේපළ අවභාවිත කරපු ඔයාලගේ කථානායකට මිසක් අපේ ජගත්ට නෙමෙයි. ඔයාලට පුළුවන්ද ජගත්ට ලංවෙන්න? අපේ ජගත් මිනිස්සුන්ට උදව් කරන මිනිහෙක්, ඔයාලගේ ජගත් හොරෙක්. නලින්ද ඇමැතිතුමා ඔයා ගොන් කතා කියන්න එපා...” අජිත් සද්දෙටම කීවේය.

සජබ විරෝධයෙන් ආණ්ඩුව තිගැස්සෙයි...
“ජේ.වී.පී. එකට ප්රජාතන්ත්රවාදය ගැන අවබෝධයක් නෑ”

ආණ්ඩුවට නොතේරෙන ප්රජාතන්ත්රවාදය...
මෙම විරෝධතාව මතම යැපෙමින් කාලය කාදමන්නට සජිත් ප්රමුඛ විපක්ෂ කණ්ඩායම කටයුතු කළේ නැත. කබීර් හෂීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ගැන ආණ්ඩුවේ කන්වල ඇබ ගැලවෙන කතාවක් කළේය.
“මොන දේ තිබුණත් වරප්‍රසාද ප්‍රශ්නයක් ඇසීමට ඉඩදිය යුතුමයි. ජේ.වී.පී. එකට මිනිස්සුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය ගැන අවබෝධයක් නැති බව ඔබලා අදත් රටටම පැහැදිලි කරලා දුන්නා.”
ප්රජාතන්ත්රවාදය හා පාර්ලිමේන්තු සම්ප්රදාය ගැන විපක්ෂයට කරුණු කියා දෙන්නට ආ නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට, මන්ත්‍රී හර්ෂ ද සිල්වා කන පුපුරන උත්තරයක් දුන්නේය. “පාර්ලිමේන්තුවටත් බෝම්බ ගහපු කට්ටියක් අද පාර්ලිමේන්තු සම්ප්රදාය ගැන කතාකරනවා. ඇත්තටම මේක විහිළුවක්නේ.”

බෝම්බ ප්‍රහාර හා පාර්ලිමේන්තු සම්ප්රදාය...
ආණ්ඩුවේ භීතිය සහ සජිත්ගේ අනාවරණය
රම්‍ය, සුරම්‍ය, සුබ කියලා මාළිගා තුනක් අයථා ලෙස අත්පත් කරගෙන සිටින කථානායක ජගත් වික්‍රමරත්න ඇයි මේ හැංගෙන්නේ? අජිත් පෙරේරා එසේ කියද්දී කථානායකගේ මේ මඟහැරීමට තවත් හේතුවක් ඉදිරිපත් කළේ මරික්කාර්ය.
“දැන් බලන්න උදේ හිටපු බිමල් දැන් සභාවේ නෑ. හරියට කොට්ට තිබ්බ තැන කොට්ට නෑ වගේ. පැහැදිලිවම ආණ්ඩුව තුළ බෙදීමක් තියෙනවා. විශ්වාසභංගය විවාදයට ගත්තොත් කතානායකගේ පැටිකිරියම එළියට යනවා, ආණ්ඩුවේ බෙදීමත් රටම දැනගන්නවා.” විශ්වාසභංගය මඟහැරීම ගැන මරික්කාර් කරුණු පැහැදිලි කළේ එලෙසය.
අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් ඇති වූ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළේය. සජිත් කීවේ විශ්වාසභංගය විවාදයට නොගැනීම ප්රජාතන්ත්රවාදයට පටහැනි මෙන්ම පාර්ලිමේන්තු නියමයන් උල්ලංඝනය කිරීමක් බවය.
“විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක්. රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම වෙනුවෙන් කැපකිරීම් කිරීමට සිදුවන යුගයක් උදාවෙලා.”

ආණ්ඩුවේ භීතියට ඇත්තම හේතුව…
159ක් තියාගෙන බය වෙන්නේ ඇයි?

පාර්ලිමේන්තු සංයුතිය ගැන කියපු ලක්මාලිට පාඩමක්...
සමගියේ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ අතීත සිදුවීම්ද උපුටා දක්වමින් අදහස් දැක්වීය.
“ලක්මාලිත් සුපුරුදු සද්ද දාලා ගියා. එයා කියනවා පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව දිනන්න බැරිලු. ඒ නිසා මේක ගෙනැල්ලා වැඩක් නෑලු. කෙහෙළිය සෞඛ්‍ය ඇමැති කාලේ බාල බෙහෙත් ගෙනැල්ලා ජීවිත එක්ක කරපු සෙල්ලමට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවෙත් අපි. එදත් අපිට බහුතරයක් හිටියේ නෑ. අගමැති හරිනියි, විජිතයි දෙන්නම ඒ කාලේ විපක්ෂයේ ඉඳන් ඒකට අත්සන් කළා. ඒත් ඒ අය අද හැසිරෙන හැටි තමයි මේ.”
කථානායකට එරෙහි සාක්ෂිවල පිටපත්ද සභාවට ඉදිරිපත් කරමින් චිත්‍රාල් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, “මේ සියලු චෝදනා ඇත්ත. අපි මේ කිසිදු චෝදනාවක් සංශෝධනය කරන්නෙත් නෑ. 159ක් ඉන්නවානේ. ඇයි බය වෙන්නේ?” කියාය.
විධායකය ව්‍යවස්ථාදායකයට අතපෙවීමක්

ව්‍යවස්ථාදායකයට තට්ටු කරන විධායකය...
මේ අතර සජිත් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභාවේ අවධානය යළිත් වරක් යොමු කරමින් විශ්වාසභංගය ගැන කතා කළේය.
“විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විදියට ත්‍රිපාර්ශ්වීය රාජ්‍ය පාලනයක් තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා අතර චෙක් ඇන්ඩ් බැලන්ස් තියෙනවා. ඉතින් අපිට තියෙන අයිතියක් තමයි විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම. ඒ අනුව තමයි අපි කටයුතු කළේ. ඒ වගේම එහෙම යෝජනාවකට ඇතුළත් කරන්නේ මොනවාද කියන එක තීරණය කරන්නෙත් අපි. රජයක් කියන දේ විපක්ෂයක් විසින් ලියන්න ඕන කියලා කොහෙවත් නෑ. ඒ නිසා අපි ලියන දේ වැරදියි කියන්න ආණ්ඩුවට අයිතියක් නෑ. මේක සංශෝධනය කරන්න කියලා ආණ්ඩුව අපිට කියන්නේ කොහොමද? සත්‍ය ලෙසම මෙය විධායකය විසින් ව්‍යවස්ථාදායකයට කරන අනිසි අතපෙවීමක්.”
සජිත් ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීතිමය කරුණු මතකයෙන් චතුර ලෙස ප්‍රකාශ කිරීම බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. සජිත්ගේ පරිණතභාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගන්නට මේ ප්‍රකාශය හේතු වූ බව එදින පාර්ලිමේන්තුවේ කසුකුසු අස්සේ කියැවුණි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඇති වූ සංවාදයකදී වෙනත් පක්ෂයක නියෝජිතයෙකු සමගියේ මන්ත්‍රීවරුන්ට කියා තිබුණේ, “ලබන සැරේ මේකෙ බලේ ඉතින් උඹලා අතේ. අද උඹලගේ ලොක්කා කියාදුන් පාඩම මුළු පාර්ලිමේන්තුවටම වැදගත්. ආණ්ඩුවේ මොළවලට මේවා තේරෙයිද කියන එක තමයි සැකේ” යනුවෙනි.

කසු කුසු මැද සජිත් ගැන කතාවක්...
උතුරු-නැගෙනහිර සහ වතුකරයේ නියෝජිත හමුව

විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින් සජිත් හමුවුණේ ඇයි ?...
උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් හමුවීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ප්‍රශ්න රැසක්ද අතැතිවය.
වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ මෙහිදී දැඩි අවධානය යොමුවිය. ආදායම් කඩාවැටීම, ජීවන වියදම ඉහළ යාම, මූලික යටිතල පහසුකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විමසමින් සජිත් තොරතුරු එක්රැස් කරගත් අතර ඒවා පිළිබඳ අඛණ්ඩව ආණ්ඩුව ප්‍රශ්න කරන්නට එම මන්ත්‍රී කණ්ඩායමට සහතික විය.
ඒ අතරම තම ලේකම්වරයා සම්බන්ධ කරගත් සජිත්, උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ පසුගිය වසර කිහිපය හා සැසඳෙන සංසන්දනාත්මක වාර්තාවක් කඩිනමින් සකස් කරදෙන ලෙසටද උපදෙස් දුන්නේය.
කාවන්තිස්ස වෙනුවෙන් පර්යේෂණ පරිශ්‍රයක්

කාවන්තිස්ස ප්‍රතිමාවක්...
“තවත් ඇතෙකු ඝාතනය කරලා. වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති පරිදි, එය ඉතා භයානක සහ සංවේගජනක දර්ශනයක්. මේ සඳහා කඩිනම් සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. මේ විනාශය වැළැක්වීම සඳහා මෙම අපරාධකරුවන් (පරිසර ත්රස්තවාදීන්) සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට උපරිම සහ දැඩිව දඬුවම් ලබාදීමට සැවොම එක්වෙමු” යනුවෙන් සජිත් සිය මුහුණු පොතේ තැබූ සටහන කාගේත් අවධානයට ලක්විය.
කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කැලෑබඳ කොටසක තිබී හමුවූ මෙම ඇතාගේ මරණය පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සිය විමර්ශන කඩිනම් කර තිබුණේ සජිත්ගේ මැදිහත්වීමත් සමඟය.
මේ අතර ‘කාවන්තිස්ස මතකාවර්ජනා’ නමින් විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගිය 03 වැනිදා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්විණි. පාරිසරික හා වනජීවී ඡායාරූප ශිල්පීන් විසින් සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශනය නැරඹීමට සජිත් පැමිණි අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරද සජිත් හමුවී සුහද පිළිසඳරක නිරත විය.
කාවන්තිස්ස හස්තියාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනකට මුලපිරූ සජිත්, ඊට සමගාමීව අලි ඇතුන් පිළිබඳ පර්යේෂණ හා පුස්තකාල පරිශ්‍රයක් ඉදිකිරීමටද සැලසුම් සකස් කළේය. කාවන්තිස්ස සිය පාරාදීසය කරගෙන සැරිසැරූ අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සතුව තිබූ ඉඩමක මෙම මධ්‍යස්ථානය ඉදිවනු ඇත.

"The Kiss of Goodbye" සහ ආචාර්ය හපුගොඩගේ සටහන

"The Kiss of Goodbye"
සජිත් සෙනසුරාදා කළුතර අගලවත්ත ආසනයේ සමගි තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටියේය. එහිදී බුලත්සිංහල ආසන සංවිධායක යොහාන් වඩුගේ විසින් සජිත්ට අපූරු සිහිවටනයක් පිරිනමන ලදී. ඒ, පසුගියදා අකාලයේ මියගිය කාවන්තිස්ස හස්තියාට සජිත් අවසන් හාදුවක් දෙන ඡායාරූපය ඇතුළත් රාමුවකි. ඔහු එය නම් කර තිබුණේ, “අවසන් හාදුව... ආදරය ගැන ලෝකයටම කියාදුන් කතාවක්! (The Kiss of Goodbye)” යනුවෙනි.
යොහාන් වඩුගේ දුන් ඒ පින්තූරය දුටු ආචාර්ය මහේෂ් හපුගොඩ සිය මුහුණු පොතේ “සජිත්: අපි විසින්ම හොයාගන්න කල් ඔහු එහෙමම හිටියා” යනුවෙන් අපූරු සටහනක් තබා තිබිණි.

"මෙතැන් පටන් ඉදිරියට යන කාලසීමාව ඇතුළේ ලංකාවේ වැදගත්ම දේශපාලනඥයා වීමේ වැඩිම ඉඩක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට. ඒ ඔහු හුදෙක්ම ලංකාවේ විපක්ෂ නායකයා වීම නිසාම නෙවෙයි. දේශපාලන නායකයෙක් හැටියට ඔහු වෙනමම ආකාරයකින් පුනරාගමනයක් කරමින් සිටින නිසා.
විසිවැනි සියවසේ පැවති මානවවාදී ජනතාවාදී දේශපාලන චිත්‍රයට අමතරව විසිඑක්වන සියවසට අවශ්‍ය ගැඹුරු 'පරිසර දේශපාලනය' වෙතද ඔහු මේ වනවිට ළඟාවෙමින් සිටිනවා. මේක අන් කිසිම කෙනෙක්ට ළඟාවෙන්න බැරි තරම් ඔහු තුළ කුඩා කල සිටම වගා වුණු දෙයක්.
අනිත් දේ තමයි ඔහු විද්‍යාත්මක පර්යේෂණ සහ සොයාගැනීම් වෙත දක්වන කැපවීම. පාර්ලිමේන්තු දේශගුණික විපර්යාස පිළිබඳ සංසදයේ සැසිවාරයකදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න ඉදිරිපත් කළ ජෛව පටල - ජෛව පොහොර (biofilm fertilizer) පර්යේෂණය ගැන සජිත් පැය භාගයකට වඩා කතා කළා. කාබනික පොහොර නිසා ආණ්ඩුවක් පවා පෙරළුණු රටක සජිත් බය නැතුව අලුත් විද්‍යාත්මක සොයාගැනීම් එක්ක යන්න සූදානම පෙන්නුවා.
සජිත් කියන්නේ වෙනස්ම කෙනෙක්. ලංකාවේ මිනිස්සු හෙව්වෙත් වෙනස් කෙනෙක්. හැබැයි මේ දෙක මුණගැහුණේ නෑ. සජිත් කියන්නේ අනික් උන් වගේම සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් හැටියට හණගහලා පැත්තකින් තිබ්බා. සජිතුත් මම වෙනස් කියා කෑගැහුවේ නෑ. අන්තිමට අපි විසින්ම හොයාගන්න කල් ඔහු සියල්ල එසේ තියෙන්න හැරියා.
2020 දී අලුත් මනුස්සයෙක් හොයපු මිනිස්සු ගෝඨාභයට දුන්නා, ඒක අසාර්ථක වෙද්දී අරගලයකට ගියා. අරගලයෙන් පස්සේ අනුර එක්ක අත්හදා බැලීමක් කළා. ඒ අත්හදා බැලීම ගැන මිනිස්සු දැන් දෙවරක් හිතන්න අරන්. බොරු බ්රෑන්ඩින්වලට නොරැවටී තමන්ගේ ආත්මයෙන් ඇත්ත දේශපාලනය කරන කෙනෙක් වෙත මිනිස්සු යන්න ඉඩ තියෙනවා. ඒක පරණ දේශපාලනයට යෑමක් නෙවෙයි, සත්‍යය වෙත ගමන් කිරීමක්."
(මම | බංගලා හන්දියේ ලියුම්කරු)



