පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබූ ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් විය.
අල්ලස් කොමිසමේ ඉල්ලීම කුමක්ද?
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට ලබා දුන් ඇප නියෝගය නීතියට පටහැනි බව පවසමින්, එය අවලංගු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.
සැකකාර මන්ත්‍රීවරයාගේ ඇප අවලංගු කර ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් එම කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම අතුරු තහනම නිකුත් කළේය.
(සරල පැහැදිලි කිරීම: පහළ අධිකරණයක තීන්දුවක් යළි පරීක්ෂා කර නිවැරදි කරන ලෙස ඉහළ අධිකරණයකින් ඉල්ලා සිටීම නීතියේදී 'ප්‍රතිශෝධන පෙත්සමක්' ලෙස හැඳින්වේ. මහාධිකරණයේ මෙම නියෝගය පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ක්‍රියාත්මක වනු ඇත.)
වගඋත්තරකරුවන්ට නොතිසි
මෙම නඩුකරයට අදාළ සියලුම වගඋත්තරකරුවන් වෙත අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමින් නොතිසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
ඉදිරි නඩු දින සටහන
* දෙසැම්බර් 08: වගඋත්තරකාර පාර්ශ්වය (නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වය) සිය විරෝධතා ගොනු කළ යුතු දිනය.
* ජනවාරි 18: පෙත්සම්කාර පාර්ශ්වය (අල්ලස් කොමිසම) ඊට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කළ යුතු දිනය.
* පෙබරවාරි 05: ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගය ආරම්භ කෙරෙන දිනය.
මොකක්ද මේ ක්‍රිෂ් ගනුදෙනුව?
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා බව පවසමින්, ඉන්දියාවේ 'ක්‍රිෂ්' (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙම සිදුවීමට අදාළව මීට පෙර ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණි.



