දරුවන්ගේ මන්දපෝෂණය ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති ශ්‍රී ලංකාවේ, පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් රජය විසින් පසුගිය අයවැයෙන් වෙන් කළ මුදලට වඩා අඩු මුදලක් ඉදිරි වසර සදහා වෙන් කර ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයකු චෝදනා කර තිබේ.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සහ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අධ්‍යාපන වැය ශීර්ෂය සහ පෝෂණ ප්‍රතිපාදන
එම අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන ඇමතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුනේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් 2027 වසර සඳහා රුපියල් බිලියන 749 කට අධික මුදලක් වෙන් කර ඇති බවයි.
එම දැවැන්ත ආයෝජනය සමස්ත රාජ්‍ය වියදමින් සියයට 12 කට වඩා වැඩි ප්‍රමාණයක් බවද අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබුනි.
ලබන වසරේ පාසල් පෝෂණ වැඩසටහන සඳහා බිලියන 30ක් ද, ක්‍රීඩා පාසල්වල සිසුන්ගේ පෝෂණය සඳහා බිලියන 0.16 ක්ද මෙවර අයවැයෙන් වෙන්කොට ඇති බව මුදල් අමාත්‍යාංශ සංඛ්‍යාලේඛනවල දැක්වේ.
ගුරු සංගමයේ දැඩි විරෝධය
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කළේ පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා වෙන් කර ඇති මුදල ඉහළ දමන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත්ව තිබියදීත් ආණ්ඩුව සිදු කර ඇත්තේ එම මුදල් කප්පාදු කිරීමක් බවයි.
"දැන් මේ ළමයින්ගේ දිවා ආහාරය දැනට මිලියන 1.6 කට තමයි දෙන්නේ. හැබැයි ළමයි මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ සංඛ්‍යාව වැඩි කරලත් නෑ, ඒ වගේම දිවා ආහාරය සඳහා දෙන්නේ රුපියල් සීයයි. දැන් මේ රුපියල් සීයෙන් අමාරුවෙන් තමයි මේක සපයන්නේ ළමයට. එතකොට මේ ගාන වැඩි කරන්න කියලා කිව්වේ. නමුත් අපිට පේන්න තියෙන කනගාටුදායකම තත්ත්වය තමයි, ගිය අවුරුද්දේ දිවා ආහාරය සඳහා රුපියල් බිලියන 33.6 ක් වෙන් කරා. හැබැයි මේ අවුරුද්දේ වෙන් කරලා තියෙන්නේ බිලියන 30 යි."
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ මුහුණ දී සිටින මන්දපෝෂණ තත්වය ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබියදීත් දරුවන්ගේ පෝෂණ වැඩ සටහන වෙනුවෙන් වෙන් කළ මුදල ඉදිරිවර්ෂය වෙනුවෙන් කප්පාදු කිරීම බරපතල ප්‍රශ්නයක් බව ගුරු සංගම් නායකයා වැඩි දුරටත් අවධාරණය කළේය.
" එතකොට දැන් මේ ළමයි, අපි දන්නවා මන්දපෝෂණය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ. එතකොට මන්දපෝෂණය ප්‍රධාන ප්‍රශ්නයක් කියලා සෞඛ්‍ය අංශ කියද්දිත්, මේ සැරේ අයවැයෙන් දිවා ආහාරය සඳහා පෝෂණ වැඩසටහන සඳහා වෙන් කරන මුදල අඩු කරලා තියෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. වැඩි කරන්න ඕනේ කියලා අපි ඉල්ලනකොට ඒක අඩු කරන එක ප්‍රශ්නයක්."
ලෝක බැංකු වාර්තාවේ අනතුරු ඇඟවීම
ලෝක බැංකුව විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ සංවර්ධනය යාවත්කාලීන කිරීම පිළිබඳ 'From Recovery to Transformation' නැමැති නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබුනේ ශ්‍රී ලංකාව තුළ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට ගොදුරුවීමේ ප්‍රතිශතය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් පෙන්නුම් කරන්නේ පැවැති ආර්ථික අර්බුදයේ දීර්ඝකාලීන බලපෑම බවයි.
එම වාර්තාවට අනුව 2023 වසරේදී 20.7%ක් ලෙස ඉහළ අගයක පැවැති දිළිඳුකම, 2025 වසර වන විට 16.9% දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති නමුත්, එය තවමත් 2019 වසරේ පැවැති 11.5%ක අගයට වඩා ඉහළ මට්ටමක පවති.
එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දි තිබුනේ 2026 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 40ක් දිළිඳු හෝ දිළිඳු රේඛාවට ආසන්නව ජීවත් වන බැවින්, යම් ලෙසකින් ජනතාවගේ තාත්වික ආදායම තවදුරටත් පහත වැටුණහොත් විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි.



