1200 x 80 DMirror
 
 

2021 සඳහා ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක්
වන අතරේ මුළු වියදම රුපියල් බිලියන 3,525ක් වන බැවින් රුපියල් බිලියන 1,564ක ආදායම් වියදම් පරතරය ජාතික ආදායමෙන් සියයට 9කට තරමක් අඩු අයවැය හිඟයක් පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව ආණ්ඩුව පවසයි.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජයේ පළමුවෙනි අයවැය ඊයේ (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැටකෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන යෝජනා ඉදිරිපත් කරන බවය.
 
මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙතෙක් සිය පාර්ලිමේන්තු කාලය තුළ ඉදිරිපත් කරනු ලබන ඔහුගේ 14 වන අයවැය වන අතර රටේ 75 වන අය වැය වාර්තාව ය.
 
ඒ අනුව සිය අයවැය කතාව සමාප්ත කරමින් ඔහු පෙන්වා දුන්නේ, 
 
# "මෙම අයවැය කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක්. 
 
# එය "සෞභාග්‍යයේ දැක්ම" යථාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස්කළ අයවැයක්. 
 
# ගෝලීය ආර්ථිකයක් තුළ තරඟකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමිකරන ලද විශේෂ ආයෝජන අවස්ථා රාශියක් විවෘත කරන අයවැයක්. 
 
# දේශීය ආර්ථිකය තරඟකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 තුළ අපේ රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයින් මේ සඳහා කැපවිය යුතුයි.රාජ්‍ය සේවය එයට දිරි ගැන්විය යුතුයි," යනුවෙනි.
 
 
''සඟවා තබාගෙන ඇති මුදල් ආයෝජනය කරන්න'' 
 
බදු හෝ විනිමය පාලන නීතිවලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස අගමැතිවරයා ව්‍යාපාරික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියේය.
 
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් බදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අගමැතිවරයා, "බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා."
 
"දේශීය හා විදේශීය ගෙවීම් වලදී කල් පිරුණ ණය දිගුකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වී ඇති නිසා මෙම අයවැය පරතරය කළමනාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි," ඔහු පැවසීය.
 
මෙම අයවැය මගින් ඉදිරිපත් කර ඇති ග්‍රාමීය මෙන්ම නාගරික, සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික වශයෙනුත්, ක්ෂුද්‍ර මූල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ වශයෙනුත් එකිනෙක ගැලපෙන සංවර්ධන යෝජනා මගින් ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතා උපයෝජනය වැඩිකර ගැනීමට හැකි වන බව ඔහු තවදුරටත් පැවසීය.
 
 
 
සියයට 6 ඉක්මවන ආර්ථික වර්ධන වේගයකට:
 
"2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 5.5ක් වන අතර එය සියයට 6 ඉක්මවන වර්ධන වේගයකට යොමු කිරීමත් සමඟ රාජ්‍ය ආදායම් වර්ධනය දැනට පවත්නා සියයට 9.7 සිට සියයට 14.1 දක්වා ඉහළ නංවා ගැනීම සිදු කිරීම අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදි කාලීන දැක්ම බව අවධාරණය කරනවා."
 
"2025 වන විට අයවැය හිඟය සියයට 4කට ඉලක්ක කර ඇත්තේ ආර්ථික ප්‍රසාරණය තුළින් පුළුල් කරන බදු ආදායම වර්ධනත්, රාජ්‍ය වියදම් හා රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසාත්ය. ආර්ථික පුනර්ජීවනය සමඟින් දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන අයවැයට ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා," යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය.
 
hghg
අගමැතිවරයා තම අසුනේ සිට අයවැය ප්‍රකාශය කරමින්
 
 
වියදම් වෙන් කිරීම:
 
මේ අතර රුපියල් බිලියන 2900 ක සීමාවට යටත්ව ශ්‍රී ලංකාව තුළින් හා ඉන් බැහැරින් ණය ලබා ගැනීමට යෝජනා කෙරිණි.
 
රුපියල් බිලියන 2900 ක සීමාවට යටත්ව ශ්‍රී ලංකාව තුළින් හා ඉන් බැහැරින් ණය ලබා ගැනීමට යෝජනා කෙරිණි.
 
 
#  සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් කෙරෙහි අඩු අවධානයක්:
 
2021 වියදම් වෙන් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ දශම කිහිපයකින් ඉහළ නැංවූ වියදමකි.
 
2021 වසර සඳහා ඊට රුපියල් බිලියන 159.57 ක් වෙන්කර ඇති අතර එය 2020 වසරේ දී දැක්වුණේ රුපියල් බිලියන 159.48 ක් ලෙසිනි. 
 
නමුත් 2019 දී සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කර තිබිණි. 
 
විශ්ලේෂකයන් පවසන්නේ ගෝලීය වසංගතයක් පවතින තත්ත්වයක් තුළ රජය සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් කෙරෙහි අඩු අවධානයක් යොමු කර ඇති බවකි.
 
 
# සෞඛ්‍ය ආරක්ෂණයට වඩා මාර්ග ඉදිකිරීමට ප්‍රමුඛත්වයක්:
 
මහාමාර්ග අමාත්‍යාංශය සඳහා 2021 දී රුපියල් බිලියන 330 ක් වෙන්කර ඇත. එය 2020 වසරේ දී රුපියල් බිලියන 244.8 වූ අතර 2019 දී වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 176 කි.
 
එනයින් ගත් කළ පෙන්නුම් කෙරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණයට වඩා මාර්ග ඉදිකිරීමට ප්‍රමුඛත්වය දී ඇති බවකි..
 
2021දි සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 2900ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙය 2020 වසරේ රුපියල් බිලියන 2650ක්ද 2019 දී රුපියල් මිලියන 2200 ද විය.
 
2021දි සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 2900ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙය 2020 වසරේ රුපියල් බිලියන 2650ක්ද 2019 දී රුපියල් මිලියන 2200 ද විය.
 
 
පවතින බදු ප්‍රතිපත්තිය දිගට ම:
 
tax 2020
2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන බව ද අයවැය යෝජනාවලදී කියැවිණි. 
 
සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර මත්පැන්, දුම්වැටි, රථවාහන, සූදු, දුරකථන සේවා සඳහා නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.
 
''සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර මත්පැන්, දුම්වැටි, රථවාහන, සූදු, දුරකථන සේවා සඳහා නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.''
 
ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කළ අතර විශේෂ බදු අභියාචනා අධිකරණයක් පිහිටුවීමට ද ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ද යෝජනා කෙරිණි.
 
අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති ගෙනෙන බවටත් බදු වංචා සඳහා සහය දෙන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමටත් යෝජනා කෙරිණි.
 
 
කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍ර ආදායම් බදුවලින් නිදහස් :
 
ඉදිරි වසර පහ තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍ර ආදායම් බදුවලින් නිදහස් කරන බවත් රුපියල් මිලියන 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවත්වා ගැනීමටත් මුදල් ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා විසින් යෝජනා කරනු ලැබීය.
 
නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස් කරන බව ඔහු පැවසීය.
 
අගමැතිවරයා කියා සිටියේ ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍ය බවය.
 
විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරන බවත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරන බවත් දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවන බවත් ඔහු පැවසීය.
 

pmbdget2

 
ආරක්ෂක අංශයට සහන:
 
මීට අමතරව පොලිස් සේවය ශක්තිමත් කරන බවත් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 700 ක් වෙන් කරන බව කී අගමැතිවරයා සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව දෙන බවද කීය. 
 
එසේම තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක් වෙන්කරන බවත් ඔහු පැවසීය.
 
 
 
අධ්‍යාපනය ඉහළ නැංවීමට:
 
බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරන බවත් කී අග්‍රාමාත්‍යවරයා ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර, මහනුවර සඳහා නව තාක්ෂණ උද්‍යාන පහක් ඇති කිරීමට, හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කිරීමට හා සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.
 
දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර ලබාදීමටත් දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. 
 
ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සළකා ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරෙන බවත් ඔහු පැවසීය.
 
නව ව්‍යවසාකයින් සඳහා සියයයට හතරක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක ණයක් ලබාදීමට ද ඔහු යෝජනා කළේය.
 
 
 
ටෙලිකොම් සංවර්ධන අරමුදලක්:
 
රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක් පිහිටුවීමට ද යෝජනා කළ අගමැතිවරයා එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
 
dgrtn
විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් 
 
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහළොවක පමණ පිරිසක් විදේශීය රැකියාවල නිරතව සිටිති. එම පිරිස සඳහා තමන් 2013 දී කළ යෝජනාව අනුව දායක විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව 2021 අයවැය කතාව ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. 
 
එමෙන්ම විදේශ රැකියාවල නිරත වන්නන් ශ්‍රී ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශීය විනිමය මුදල් සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයට රුපියල් දෙක බැගින් අමතරව ගෙවීමට ද යෝජනා කරන ලදී,
 
 
ගොවීන්ට සහන:
 
වී සඳහා පොහොර නොමිලේ සැපයීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 1500 ක මිලකට ලබාදීමටත් සහතික කරන බව අගමැතිවරයා පැවසීය.
 
වගා නොකරන පුරන්කුඹුරු සහ නොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායී කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙන පරිදි 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට ද යෝජනා කෙරිණි.
 
කහ සහ ඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම බෝග නිෂ්පාදන ඉහළ නැංවීමට පොල් හා රබර් වතුවල අතිරේක බෝග වගාවන් වගා කිරීම සඳහා වගා ආධාර ක්‍රමයක් ද යෝජනා කර තිබේ.
 
 
 
කිරි ගොවීන්ට 'සහන':
 
''කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300 (රුපියල් බිලියන 55 පමණ) කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය අඩු කරගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට යෝජනා කර තිබේ. ''
 
කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300 (රුපියල් බිලියන 55 පමණ) කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය අඩු කරගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට යෝජනා කර තිබේ. 
 
ඒ යටතේ කිරි ගවමඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොලී යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත .
 
 
 
වතු කම්කරු වැටුප:
 
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහින්ද රාජපක්ෂ යෝජනා කළේය.
 
 
 
රාජ්‍ය සේවකයින් සඳහා 'සහන':
 
රාජ්‍ය සේවකයන්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරිම සඳහා සූර්ය බල විදුලි පහසුකම් ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
 
රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශවලට අදාළ දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමටද යෝජනා කර ඇත. 
 
මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමට ද යෝජනා කරන ලදී.
 
රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට ද අගමැති මහින්ද රාජපක්ෂ යෝජනා කළේය.
 
 
 
අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස:
 
''අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නොවන බව අගමැතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටක් වන අතර පෞද්ගලික අංශයේ අවුරුදු 55ට සීමා කර තිබේ. ''
 
අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නොවන බව අගමැතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටක් වන අතර පෞද්ගලික අංශයේ අවුරුදු 55ට සීමා කර තිබේ. 
 
කාන්තාවන් සඳහා අඩු වයසක් ක්‍රියාත්මක වේ. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබේ.
 
 
 
නිෂ්පාදන ආර්ථිකයක් සඳහා:
 

Product economy

 
නිෂ්පාදන ආර්ථිකය ඉහත කී අරමුණු ඉටුවන අයුරින් සකස් කර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරේ.
 
# දේශීයව නිපදවිය නොහැකි කෘෂිද්‍රව්‍ය හැර අනෙකුත් කෘෂි භාණ්ඩ ආනයනය සීමා කිරීම, 
 
# දේශීය නිෂ්පාදන සැපයුම හා ඉල්ලුම තුලණය කිරීමට අදාළ තෝරාගත් කෘෂි නිෂ්පාදන සඳහා විශේෂ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීම, 
 
# ආනයන හා අපනයන සඳහා දේශීය නිෂ්පාදනවලට අවශ්‍ය ආරක්ෂණය සඳහා CESS බදු ක්‍රියාත්මක කිරීම, 
 
# භාණ්ඩ අපනයන හා දේශීය කර්මාන්තවල එකතු කළ අගය වැඩි නිෂ්පාදනයන්ට යොමුවීම දිරිගැන්වීම සඳහා දේශීයව ලබාගත නොහැකි අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණික යන්ත්‍ර හා උපකරණ හා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා තිරුබදු ඉවත් කිරීම.
 
# ඉහත සඳහන් භාණ්ඩ වර්ගවලට අයත් නොවන සමස්ත ආනයන භාණ්ඩ සියයට 0, 10 සහ 15 වශයෙන් තිරුබදු කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කිරීම, 
 
# යම්කිසි භාණ්ඩයක් ආනයනයේදී VAT බද්දෙන් නිදහස් කර ඇත්නම් එම භාණ්ඩයේ දේශීය නිෂ්පාදනයටද එය අදාළ කිරීම.
 
# ආනයන අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා එක් සේවා මධ්‍යස්ථානයක ඉටු කිරීම සඳහා විවිධ නියාමන ආයතනවලින් ඉටුකරන සේවා ආනයන අපනයන දෙපාර්තමේන්තුව මගින් ඉටුකිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරින් ආනයන අපනයන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම.
 
# බතික් හා විලාසිතා ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරිම සඳහා බතික් නිෂ්පාදන ආනයනය දේශීය සංකේත අංක යටතේ තහනම් කිරීම, 
 
# දේශීය හා විදේශීය ඇඟළුම් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා, වැඩි වටිනාකමින් යුත් ඇගළුම් හා සම්භාණ්ඩ නිෂ්පාදනයන්, විදේශිකයන්ගේ හා සංචාරකයන්ගේ වෙළෙඳපොළක් ලෙස දේශීය ඇගළුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා එම කර්මාන්තයට අවශ්‍ය ආනයන ලිහිල් කිරීම හා නව තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
 
# රත්නපුර ජාත්‍යන්තර මැණික් කර්මාන්ත නගරය සංවර්ධනය හා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණු කිරීම.
 
# දේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා ආනයනය මත රඳා පවතින බහුජාතික සමාගම් සිය නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ කරා දිරිගැන්වීම සඳහා 2021ට පෙර එසේ අපනයනය කරනු ලබන ප්‍රමාණය සියයට 30කටත්, 2023ට පෙර සියයට 50 දක්වාත් වැඩි කරන්නේ නම් ඔවුන්ගේ ලාභාංශ සඳහා අය කරන බද්ද පිළිවෙළින් සියයට 25න් හා සියයට 50න් අඩු කිරීම.
 
# එම සමාගම් ආනයනය කරනු ලබන ප්‍රමාණයට සරිලන විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ මුලාශ්‍ර වලින් ලබාගෙන දේශීය බැංකුවල සංචිත පවත්වා ගැනීම දිරිගැන්වීම සඳහා එම තැන්පතුවල පොලී ආදායම් බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරතිබේ.
 
# ඛණිජ වැලි, පොස්ෆේට්, පොහොර, මිනිරන් ආදී සැඟවුණු කර්මාන්ත ඉහළ වටිනාකමින් යුත් අපනයන කර්මාන්ත ලෙස දියුණු කිරීම සඳහා නැනෝ තාක්ෂණ ආයතනයට සම්බන්ධවන දේශීය ව්‍යාපාරිකයන්ගේ වියදම පර්යේෂණ හා සංවර්ධන වියදම් ලෙස බදු වලින් අඩු කිරීමට යෝජනා කෙරිණි. 
 
මෙම නිෂ්පාදනවල ශ්‍රී ලංකා අනන්‍යතාව ලියාපදිංචි කිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමට ද යෝජනා කර ඇත.
 
# කොසු, ඉදල්, පාපිසි ඇතුළු ගෘහ අවශ්‍යතා මෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්ත, කෘෂිකාර්මික හා පාරිභෝගික අවශ්‍යතා ඇතුළු රබර් නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, කාර්යාල හා ගෘහභාණ්ඩ, ප්‍රධාන කර්මාන්ත ලෙස ආයෝජන දිරිගැන්විම් ලබාදීමටද යෝජනා කර තිබේ.
 
# ධීවර, සංචාරක හා නාවික ක්ෂේත්‍රයේ පුළුල් වෙමින් පවතින ඉල්ලුමත්, දේශීය නිෂ්පාදකයන්ගේ උසස් නිෂ්පාදන හැකියාවත් නිසා වැඩිදියුණු කළ හැකි බෝට්ටු හා නැව් නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වෙන් වූ නැව් තටාකාංගන, අමුද්‍රව්‍ය ලබාගැනීමේ පහසුකම්, දිගුකාලීන ණය පහසුකම් ලබාදීමටත්, දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදන සඳහා වසර 7ක බදු විරාමයයක් ලබාදීමටත් අගමැතිවරයා යෝජනා කර තිබේ.
 
(රංග සිරිලාල් සහ ෂර්ලි උපුල් කුමාර- බීබීසී සිංහල)

nalan mendis

subscribeYT

subscribeYT

නවතම පුවත්