"හරක් කටාගේ බිරිඳගෙන් ඩුබායිහිදී කෝටි 12ක අත්තිකාරමක් ගත්තා"
බූස්සෙන් මාරු කිරීමට සහ ජීවිතය බේරා ගැනීමට මැදිහත් වන බව පවසා මුදල් ඉල්ලූ බවට චෝදනා
සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් බාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියක් පිළිබඳව පුද්ගලයින් තිදෙනෙකු අද (25) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුතෙකු වන නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනාය.
අල්ලස් කොමිසම නිකුත් කළ අංක 2026/070 දරන නිල මාධ්‍ය නිවේදනයට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී සිදුවූවා යැයි කියන මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙනි. සැකකරුවන් විසින් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, පසුව එය ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩුකර, ඉන් ලක්ෂ 1200ක (කෝටි 12ක) අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
නිල නිවේදනයේ සඳහන් මුලික කරුණු මෙසේය
වෙළඳාම් වූ පොරොන්දු:
'හරක් කටා' නැමැත්තාගේ ජීවිතය ආරක්ෂා කර දීම (ඝාතනය කිරීම වැළැක්වීම), ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර දීම, ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙනුවට වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීම සහ විමර්ශන කටයුතුවලින් නිදහස් කර දීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම.
ඩුබායිහිදී සිදු වූ සාකච්ඡා:
ඉහත සඳහන් කළ සහන සලසා දීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙන්නේ 'හරක් කටා' නමැත්තාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් බවත්, එම මුදල් ඉල්ලීම සහ ලබාගැනීම 2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදී සිදුව ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අධිකරණ ක්‍රියාමාර්ග:
අත්අඩංගුවට ගත් සැකකාර නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ සහ අරුණ වරුෂවිතාන යන තිදෙනා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතී.





