පසුගිය සති අන්තයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට මූලිකම හේතුව මෙම සහනාධාර සීමාව ඉක්මවා යාම බව සභාපතිවරයා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම කාර්ය මණ්ඩල වාර්තාව (Staff Report) මඟින් ද අවධාරණය කර ඇත්තේ, පිරිවැය පියවා ගත හැකි පරිදි බලශක්ති මිල තීරණය කිරීම (Cost-recovery pricing) මෙම ණය වැඩසටහනේ ප්‍රධානතම කොන්දේසියක් බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතීන් හමුවේ ලෝක තෙල් මිල ඉහළ ගියද, පසුගිය අප්‍රේල් මාසයේ සිට ලංකාවේ මිල ගණන් පිරිවැයට සාපේක්ෂව පූර්ණ වශයෙන් ඉහළ නොදැමීම හේතුවෙන් මෙම සහනාධාර අර්බුදය නිර්මාණය වී ඇත.
සැබෑ පිරිවැය සහ ආණ්ඩුවේ බර
තෙල් සංස්ථා සභාපතිවරයාට අනුව, වත්මන් මිල සංශෝධනයෙන් පසුව වුවද ඉන්ධන අලෙවි කරනු ලබන්නේ සැබෑ පිරිවැයට වඩා අඩු මිලකටය. "රජය තවමත් පාරිභෝගිකයා වෙනුවෙන් ඩීසල් ලීටරයකට රුපියල් 100 ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක බරක් දරනවා. අප්‍රේල් සහ මැයි මාසවල වගේම ජූනි මාසයේදීත් අපි ඒ සහනය දෙනවා. නමුත් ඒ සඳහා වෙන්කළ රුපියල් බිලියන 57 ක ප්‍රතිපාදනය ජූනි මාසයෙන් ඉවරයි," යැයි සභාපතිවරයා සඳහන් කළේය.
වත්මන් තත්ත්වය යටතේ සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 129 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 60 ක සමස්ත අලාභයක් සිදුවන අතර, ඉන් ඉතිරි කොටස රජයේ අයවැය මඟින් පියවීමට සිදුව ඇත. IMF වාර්තාවට අනුව, 2026 සැප්තැම්බර් අවසන් වන විට සියලුම ඉන්ධන සහනාධාර සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට (Fully phased out) රජය එකඟ වී තිබේ.
ඩොලර් බිල සහ ඉදිරි අභියෝගය
මැදපෙරදිග අර්බුදයට පෙර මසකට ඩොලර් මිලියන 100-120 ක් පමණ වූ මෙරට ඉන්ධන ආනයන බිල, පවතින ඉහළ මිල ගණන් සහ ආනයන ධාරිතාව ඉහළ යාම හේතුවෙන් පසුගිය මැයි මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 520 ක් දක්වා බිහිසුණු ලෙස ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය මෙරට විදේශ විනිමය සංචිතයට සහ ඩොලරයේ අගයට සෘජුවම බලපාන බැවින්, සමස්ත ආර්ථිකයම කඩාවැටීම වැළැක්වීම සඳහා හැකි උපරිමයෙන් ඉන්ධන පරිභෝජනය සීමා කරන ලෙස තෙල් සංස්ථාව පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉන්ධන මිල සූත්‍රයට අමතරව, ඉදිරි මාසවලදී පිරිවැය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ද නැවත සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව IMF වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
(සටහන | සම්පත් ධීරසේකර)
Sri Lanka government’s fuel subsidy allocation to end by June: CPC chief




