ජූනි උද්ධමනය 6.8% දක්වා ඉහළට: ණය ආපසු ගෙවීම් මැද බාහිර අංශය ස්ථාවර මට්ටමක පවතින බව මහ බැංකු අධිපති කියයි
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය ඉන්ධන සහ භාණ්ඩ මිල ඉහළ යමින් පැවතියද, විදේශ ණය සේවාකරණ ගෙවීම් සිදුකරමින් ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය 2026 ජූනි මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.45 දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
අද (22) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී වත්මන් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් නොකර 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ කොළඹ පිහිටි මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී තහවුරු කළේය.
ගෝලීය තෙල් මිල සහ උද්ධමන පීඩනය
දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ සිදුවන වර්ධනයන් සහ ඉදිරි ප්‍රවණතා දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යාම ඉදිරි ගෝලීය සහ දේශීය ආර්ථික වර්ධනය කෙරෙහි යම් බලපෑමක් එල්ල කළ හැකි බව පෙන්වා දුන්නේය.
දේශීය ශක්තිමත් ඉල්ලුම මෙන්ම බලශක්ති සහ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් 2026 ජූනි මාසයේදී මෙරට සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8% දක්වා ඉහළ ගොස් තිබේ. ඉදිරි කෙටි කාලය තුළ උද්ධමනය මහ බැංකුවේ 5%ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළින් පැවැතියද, ඉදිරියේදී එය ක්‍රමයෙන් නැවත ඉලක්කගත මට්ටම කරා පහත වැටෙනු ඇති බවට මහ බැංකුව විශ්වාසය පළ කරයි.
බාහිර අංශයේ හැසිරීම සහ රුපියලේ ස්ථාවරත්වය
ඉහළ ගිය ඉන්ධන ආනයන පිරිවැය හමුවේ වෙළෙඳ හිඟය පුළුල් වීම නිසා 2026 අප්‍රේල් මාසයේ සිට ජංගම ගිණුමේ යම් හිඟයක් වාර්තා වී තිබුණ ද, මෝටර් රථ ඇතුළු ආනයන සීමා කිරීම සඳහා මෑතකදී ගත් ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන් ඉදිරියේදී ආනයන ඉල්ලුම පාලනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මහ බැංකු අධිපතිවරයාගේ සමාලෝචනය:
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ගමනාගමනය නිරන්තරයෙන් ශක්තිමත්ව පැවැතීම සහ පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල යම් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම ආර්ථිකයට ලැබුණු යහපත් සංඥාවකි.
විදේශ ණය වාරික සහ පොලී ගෙවීම් අඛණ්ඩව සිදුකරමින්ම දළ නිල සංචිතය ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවීම මඟින් මෙරට බාහිර අංශයේ පවතින ප්‍රබලතාව තහවුරු වන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ජේ. මුණසිංහ )




