කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆි මහතාගේ නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම

සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ (18) අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සාෆි මහතා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු බව ද, ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බව ද, වෛද්‍ය සාෆි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳද එම රෝහලේම වෛද්‍යවරියක බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

සාෆි සම්බන්ධ පැමිණිල්ල 2019 ජුනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පැමිණිලිකරුවකු, විත්තිකරු සහ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකරන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට මහේස්ත්‍රාත්වරයා අවස්ථාව දී ඇතැයි ද, එච්එස්ජී පරීක්ෂණය ගැන අදහස් දැක්වීමට ඔහු ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ද, දන්ත වෛද්‍යවරයකු වන අධ්‍යක්ෂවරයා අධිකරණයේ දී දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි රහස් පොලිසිය වාර්තා කර ඇති බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ දැක්වේ.

මේ මගින් පැමිණිලිකරුවන්ට, විත්තිකරුට සහ අගතියට පත්වීයැයි කියන පාර්ශ්වයට අගතියක් සිදුවිය හැකි බවත්, මහජනතාවට අධිකරණය ගැන විශ්වාසය පළුදු විය හැකි බවත් එම නිසා මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් එම සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

Law 1

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ.

‘‘කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆි මහතා සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවෙන ඉහත කී නඩුවේදී, කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මතු වී ඇති බව ඔබ වෙත දන්වා සිටිනු කැමැත්තෙමි.

විශේෂයෙන්ම කුරුණෑගල ගරු මහේස්ත්‍රාත්තුමන්ගේ පහත සවිස්තරව දක්වනු ලබන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පලකර ඇති කරුණු සලකා බැලීමෙන් පසුව සහ එකී කරුණු සමාජගත වීමෙන් පසුව සමාජය තුළ ඇති විය හැකි මතභේදකාරි වාතාවරණය සම්බන්ධයෙන් කල්පනා කිරීමෙන් අනතුරුව අප විසින් මෙම කරුණු සුදුසු පියවර ගැනීම සදහා ඔබගේ අවධානයට යොමුකර සිටිනු ලැබේ.

1. වෛද්‍ය සාෆිද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන අතර සාෆි සම්බන්ධයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද , මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ද කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

2. සාක්කිකරුවන්, පැමිණිලිකරුවන්,විත්තිකරුවන් හා අගතියට පත් පාර්ශ්වය යන නඩුවක පාර්ශ්වකරුවන් නොවන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විවෘත අධිකරණයේ දී (සාක්කිකුඩුවෙන් පිට) 2019 ජුනි 27 වැනි දා මහේස්ත්‍රාත්වරයා විසින් අදහස් විමසා ඇති අතර ඔහු දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජූලි 11 වැනි දා අධිකරණයට වාර්තා කළේය.

එලෙස ඉවත් කළේ ඇයිදැයි විමසීමේදී එය සටහන් කළ තැනැත්තිය කියා ඇත්තේ මහේස්ත්‍රාත්වරයා එම කොටස ඇතුළත් නොකරන ලෙස කළ දැනුම් දීම නිසා බව ද එම වැඩිදුර වාර්තාවේ සඳහන් වේ. (එම උපුටනය අමුණා ඇත.)

3. මෙම නඩුවට අදාළව මුලින් පත් කළ වෛද්‍ය මණ්ඩලය අහෝසි කර අලුතින් කමිටුවක් පත් කිරීම ජූලි 11 වැනි දා මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිට ලබා දෙන ලෙස දන්වමින් මුද්‍රිත ප්‍රශ්නාවලියක් ද රහස් පොලිසියට ලබා දුන්නේය.

මුල් කමිටුව අහෝසි කර අලුත් කමිටුවක් පත් කිරීමට හේතුව ද මේ වන තෙක් වාර්තා වී නැත. මුද්‍රණය කළ ප්‍රශ්නාවලියක් මහේස්ත්‍රාත්වරයා විසින්ම යොමු කිරීම යම් සැකයක් ඇති කිරීමට හේතුවකි. ඒ අලුත් කමිටුවක් පත් කර ප්‍රශ්න යොමු කිරීමට පෙර සූදානමකින් සිටියේයැයි උපකල්පනය කළ හැකි නිසාය.

4. අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව වෛද්‍ය සාෆි දණ්ඩ නීති ස්‍රගහයේ 311 යටතේ මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වන අතර එම චෝදනා ඉවත් කරගෙන එම චෝදනාවලින් වෛද්‍යවරයා නිදහස් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජූලි 11 වැනි දා මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එසේ නම් කළ යුත්තේ වෛදවරයා රිමාන්ඩ් කිරීම නොව ඔහු නිදහස් කිරීමය.

5. මහජන කැළඹීම යටතේ රිමාන්ඩ් කළ හැක්කේ සැකකරුවකු පමණයි. යම් වරදකට සැකකරුවකු ලෙස පොලිසියෙන් නම් කර නැති පුද්ගලයකු මහජන කැළඹීම යටතේ රිමාන්ඩ් කිරීමට නීතිමය හැකියාවක් නැති බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වන අපගේ අදහසයි.

කෙසේ වෙතත් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත් චෝදනා ඉවත් කර තිබිය දී ඔහු මුදා නොහැර රිමාන්ඩ් බාරයට පත් කිරීම නීත්‍යනුකූල නොවන බව අපගේ අදහසයි.

Dr.Saafi arest

එපමණක් නොව,

# කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර 2019 ජුනි 27 වැනි දා සහ 2019 ජූලි 11 වැනි දා එම දෙපාර්තමේන්තුව පිටු 210 වාර්තාවක් සහ පිටු 24ක වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්කියක් නොතිබිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු අත්අඩංගුවට ගත් චෝදනා තහවුරු කෙරෙන කිසිම සාක්කියක් එනම් සාෆි කෙරෙහි සාධාරණ සැකයක් ඇති කළ හැකි කිසිවක් හමු නොවූ හෙයින් ඔහුගේ රැඳවුම් නියෝග අත්හිටුවා එම චෝදනාවලින් ඔහු නිදහස් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

# එපමණක් නොව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට සාධාරණ සැකයක් ඇතැයි ඇඟවීමට ඉදිරිපත් කළ පැමිණිලි 10න් නවයක්ම ලියාගෙන ඇත්තේ සාෆි අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමෙන් පසුව බවත්, ඒවායේ දින සහ ප්‍රකාශ ලබාගත් ස්ථාන ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවත් අනාවරණය වීයැයි රහස් පොලිසිය වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබේ. සාෆිට එරෙහි අනිත් පැමිණිල්ල ද ව්‍යාජ රහස් පොලිසිය සඳහන් කරයි.

# සාෆි වෛද්‍යවරයා කළ සැත්කම්වලින් පසු මව්වරුන් පිරිසකට දෙවැනි දරු උපත් නැතිවීම හා පැලෝපීය නාලය මිරිකීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 311 වගන්තිය අනුව බරපතල තුවාල සිදු කිරීම යටතේ විමර්ශන සිදු කරන බවත්, ඇසින් දුටු සාක්කි හෝ විද්‍යාත්මක සාක්කි අනාවරණය වුවහොත් ඉදිරියේ දී නීතිපති උපදෙස් ගෙන අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජූලි 11 වැනි දා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර වාර්තාවකින් දැනුම් දුන්නේය.

# අපරාධ නඩු විධාන සංග්‍රහයේ 311 යටතේ පැවැත්වෙන පරීක්ෂණයට අදාළව වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැකකරුවකු ලෙස නම් කර නොමැත. පැමිණිල්ලක් ලද පමණින් විමර්ශනයක් නොකර සැකකරුවකු අත්අඩංගුවට ගත නොහැක. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 311 යටතේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නම් එම සැකකරු චේතනාන්විතව බරපතල තුවාල සිදු කර ඇති බවට සාධාරණ සැකයක් ඇති කිරීමට සමත්වන සාක්කි සාධක හමුවිය යුතුවය.

# මෙම විමර්ශනයේ දී වෛද්‍ය සාෆි සැකකරුවකු කිරීමට නම් මුලින්ම මෙම පැමිණිලි කළ කාන්තාවන්ට දෙවැනි දරු උපතක් උත්සාහ කළ දරු උපතක් සිදු නොවූ බව තහවුරු කර ගත යුතුය. ළමයින් හැදීමට උත්සාහ නොකර තමන්ට දෙවැනි දරු උපතක් නැතැයි පැමිණිලි කිරීමට කාන්තාවන්ට හැකිය. එනිසා මුලින්ම ඒ බව තහවුරු කර ගත යුතු අතර එම කාන්තාවන්ට දරු උපත් නැතිනම් එසේ නැත්තේ ප්‍රජනන පද්ධතියේ ඉන්ද්‍රියකට හානි සිදු කර ඇති නිසා බව ඊළඟට අනාවරණය කර ගත යුතුය.

# ඒ මන්ද යත් දරු උපතක් නැතිවීමට එකම හේතුව කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියට හානියක් සිදුවීමම නොවන්නට පිළිවෙන. ඊළඟට එලෙස හානියක් සිදු වී ඇත්නම් ඒ හානිය වෛද්‍ය සාෆි විසින් සිදු කරන ලද්දක්දැයි තහවුරු කර ගත යුතුය. වෛද්‍ය සාෆි විසින් චේතනාන්විතව මව්වරුන් වඳ භාවයට පත් කිරීම සඳහා ශරීරයේ ඉන්ද්‍රියන්ට හානියක් කර ඇතැයි සාධාරණ සැකයක් ඇති කරන සාක්කි ඇත්නම් වෛද්‍ය සාෆි පෙර කී දණ්ඩ නීති සංග්‍රහයේ 311 යටතේ අත්අඩංගුවට ගත හැකිය.

 

කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් !

Kurunegala 

සාෆි වෛද්‍යවරයාගේ ප්‍රශ්නයේදී ඉහත කී සිදුවූ සිදුවීම් සැලකිල්ලට ගැනීමේ දී වෛද්‍යවරයා රිමාන්ඩ් බාරයට පත් කරවීම උදෙසා යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත්වූවාදැයි සැකයක් ඇති වේ. එකී තත්වය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රමානවත් අවධානයක් යොමු කර නොමැති බව අපගේ නිරීක්ෂණය වේ.

අධිකරණයක් විසින් සැකකරුවකු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සැලකිල්ලට ගතයුතු ස්වභාවික යුක්ති මූලධර්ම නොසලකා හැරීම ඉතා බරපතල තත්වයක් වේ. එමෙන්ම මාධ්‍ය වාර්තා අනුව,කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ඉහත කී ක්‍රියාකලාපය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය හීන කිරීමට හේතු විය හැකි බව අපගේ අදහස වේ.

එම නිසා ඉහත කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මෙම ක්‍රියාවලියේදී මහේස්ත්‍රාත්වරයා අතින් වරදක් සිදුවී ඇත්ද යන්න ගැනත්, එය යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක් ලෙස සිදු කළ අපරාධ වරදක්දැයි සොයා බලන ලෙසත් ඉල්ලා සිටිමු. ''

මෙයට ,
විශ්වාසී,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීනගේ සංගමය

 

සබැඳි පුවත් :

සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!

වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්