The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් හෙළිවූ අලුත් කරුණු 7ක්

T

The Leader Desk

August 7, 2025 • 2:23 PM

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් හෙළිවූ අලුත් කරුණු 7ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ආර්ථික ව්‍යසනයක් ඇති වනු ඇතැ’යි, ඇතැමුන් සෑම විටම විනාශකාරී සිහිනයක් දකිමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා එය කිසිසේත් සිදු නොවන බවත්, එබැවින් ඔවුන් වෙනත් දේශපාලන මාවතක් තෝරා ගත යුතු බවත් අවධාරණය කළේය.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයට අද (07) පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.
  • ඔහු පාර්ලිමේන්තුවේදී කළ කතාවේ විශේෂ කරුණු 7ක් පහත දැක්වේ.
  • 'තීරුබදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග මෙතෙක් කිසිදු ගිවිසුමකට අත්සන් කළේ නැහැ' ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු 20%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමන්ත්‍රණ කරලා රට වට්ටන්න හිතන්නවත් එපා. 

ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

ගෙවී ගිය වසරකට ආසන්න කාලය තුළ රජය සිදු කළ අසීමිත කැප වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය ස්ථාවර සහ ශක්තිමත් මාවතකට පැමිණ ඇති බවත්, ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ගලා යාම තවදුරටත් සහතික කිරීමට ඉදිරි අයවැය මගින් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

රටේ ආර්ථික ව්‍යසනයක් ඇති වනු ඇතැ’යි, ඇතැමුන් සෑම විටම විනාශකාරී සිහිනයක් දකිමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා එය කිසිසේත් සිදු නොවන බවත්, එබැවින් ඔවුන් වෙනත් දේශපාලන මාවතක් තෝරා ගත යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයට අද (07) පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.

ජනාධිපතිවරයා සිය කතාවේදී විශේෂයෙන් අවධානය යොමු කළේ, රටේ ආර්ථික තත්ත්වය සහ ඇමෙරිකානු තීරුබදු පිළිබඳව ය.

ඔහු පාර්ලිමේන්තුවේදී කළ කතාවේ විශේෂ කරුණු 7ක් පහත දැක්වේ.

1. 'තීරුබදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග මෙතෙක් කිසිදු ගිවිසුමකට අත්සන් කළේ නැහැ'

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු 20%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට අත්සන් කර නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

"එක්සත් ජනපදය ඉදිරිපත් කළ සමහර යෝජනා තිබුණා. ඒ යෝජනා පිළිබඳව අපි සාකච්ඡා මට්ටමේ ඉන්නවා. අපි මේ වන තෙක් අවසන් එකඟතාවකට ඇවිල්ලා ගිවිසුමක් අත්සන් කරල නෑ. නමුත්, අපි යම් සාකච්ඡාවල යම් ප්‍රගතියක් එකඟතාවන්ට ඇවිල්ල තියෙනවා. අවසන් වශයෙන් ගිවිසුම්වලට අත්සන් කරලා නෑ," ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර, ජනාධිපතිවරයා සඳහන් කළේ, HS CODE යම් ප්‍රමාණයක් නිදහස් කළ යුතුව ඇති බව ය.

"අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% - 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේදී ම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් ක්ෂේත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට ළඟා වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි."

2. 'තෙල් මිල ගැලපීමේ සූත්‍රයට අපි එකඟයි'

ඉන්ධන මිල ගණන් ගැලපීමේ සූත්‍රයට තමන් එකඟ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.

"රජය තෙල් සංස්ථාවේ යම් පංගුවක් නියෝජනය කරනවා නම් එය ජනතාවට බරක් නොවිය යුතු යි. කරන්න ඕනෙ මොකක් ද, නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගලප්පන්න ඕනෙ. ඒක වැරදි දෙයක් නෙවෙයි. තෙල් ලීටරයක් ගමට ගිහිල්ල ෂෙඩ් එකේ විකුණන්න කොච්චර පිරිවැයක් යනව ද? ඒ පිරිවැයට අනුව මිල ගලප්පන්න ඕනෙ. ඒ ගලප්පීමේ සූත්‍රයට අපි එකඟයි. හැබැයි යම් පාර්ශවයක් ඉන්නව නම් ඒක ඔවුන්ගේ ආර්ථිකයට ප්‍රබල ලෙස බාධාවක් ඇති වෙනව නම් ඒකට සහනාධාරයක් දෙන්න ඕනෙ."

3. IMF සමග ඉදිරියට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් සමග තවදුරටත් ඉදිරියට යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සබඳතා බිඳ වැටෙනු ඇති බවට ඇතැමුන් බලා සිටි බව ය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් එක්ක අපි ඉදිරියට යමින් තිබෙනවා. ඒ බිඳවැටීම් පිළිබඳව තමුන්නාන්සෙලා අපේක්ෂා කළා නම්, ඒ අපේක්ෂාව යථාර්ථයක් වෙන්නෙත් නෑ."

4. 2027 වසරේ GSP+ සහනය අවසන්

2027 වසරේදී GSP+ සහනය අවසන් වන බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තාවකාලික කම්පනයක් ඇති විය හැකි බව ද ඔහු පැවසීය.

මෙම බදු සහනය හරහා HS කේත 6200කට පමණ සහන හිමි වන අතර, 2027 වසරෙන් පසු යළිත් එය ලබා ගැනීම සඳහා සාකච්ඡාවල නිරත වන බව ඔහු පැවසීය.

5. ආන්දෝලනාත්මක පනත් ගැන ආණ්ඩුවේ ස්ථාවරය

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කතාවේදී සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි විය යුතු ය යන්න සිය රජයේ ස්ථාවරය බව ය.

ඔන්ලයින් ආරක්ෂණ පනත වෙනස් විය යුතු බව ද ඔහු පැවසීය.

ඊට අමතරව, සැඟවුණු ඝාතන සහ අපරාධ පිළිබඳව නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බව ද එහිදී ප්‍රකාශ කළේ ය.

6. 'ඉතිහාසයේ වැඩි ම අපනයන ආදායම'

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, 2024 මුල් මාස 6 තුළ අපනයන ආදායම රු. බිලියන 7.8ක් වූ අතර මේ වසරේ මුල් මාස 6 තුළ රු. බිලියන 8.4ක අපනයන ආදායමක් ලැබී ඇති බව ය.

"ලංකා ඉතිහාසයේ වැඩි ම අපනයන ආදායමක් ඉපයූ මාස හය" මෙය බව ද ඔහු පැවසීය.

ඔහු පැවසුවේ, අපනයන සඳහා යුරෝපය, ඇමෙරිකාවට අමතරව, අප්‍රිකාව, අග්නිදිග ආසියාව, ආසියාව ආදී කලාපවලට භාණ්ඩ අපනයනය කිරීම් වැඩි කර ඇති බව ය.

7. 'වාහන ආනයනය නතර කරන්නේ නැහැ'

වාහන ආනයනය කිරීම තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, වාහන ආනයනයේදී බදු ඉහළ දැමීමට ද අපේක්ෂා නොකරන බව ය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...