දඩය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවම්; වෙසක් කාඩ්පත් නඩුවත් ලබන 11 වැනිදාට
දේශපාලන පක්ෂ කටයුතුවලට සහභාගී වූ ආධාරකරුවන්ට රාජ්‍ය ආයතනයකට අයත් මුදල් යොදවා ආහාර ලබාදීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට බරපතල වැඩ සහිත වසර 07ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය අද (01) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
චෝදනා දෙකටම වරදකරු වෙයි
අල්ලස් පනත යටතේ ගොනුකර තිබූ 'දූෂණය' සහ 'වරදට පෙළඹවීම' යන චෝදනා දෙකටම චුදිත වරදකරු කරමින් විනිසුරුවරයා නියෝග කළේ එක් චෝදනාවකට වසර 07 බැගින් වන වසර 14ක සිරදඬුවම එකවර ගෙවී යන පරිදි (වසර 7ක් ලෙස) ක්‍රියාත්මක වන ලෙසයි.
මීට අමතරව එක් එක් චෝදනාව සඳහා රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කෙරුණු අතර, අදාළ දඩ මුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් අමතර සිරදඬුවම් විඳිය යුතු බව ද අධිකරණ නියෝගයේ සඳහන් වේ.
රුපියල් 330,000ක රජයේ මුදල් අවභාවිතය
2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගී වූ ආධාරකරුවන් පිරිසකට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් (SriLankan Catering) සමාගමට අයත් රුපියල් 330,000ක මුදලක් මාරවිල ප්‍රදේශයේ පිහිටි 'ගම්බඩ කේටර්ස්' නමැති පෞද්ගලික ආයතනයකට ගෙවීමට කටයුතු කිරීම මෙම නඩුවට පාදක විය.
එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ඊට පොළඹවා රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
දඬුවම ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම
නඩු තීන්දුවෙන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේ අල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව දූෂණය නම් වරද සඳහා වසර 10කට නොඅඩු සිරදඬුවමක් සහ දඩයක් නියම කළ යුතු බවයි.
කෙසේවෙතත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාගේ දරුවන් විදේශගතව සිටින බවත්, භාර්යාව රෝගාතුරව පසුවන බවත්ය. එසේම විත්තිකරු ද ජංගම දුරකථනයක්වත් පරිහරණය කළ නොහැකි මට්ටමේ දැඩි රෝගී තත්ත්වයක පසුවන බැවින් මානුෂීය කරුණු සලකා දඬුවම ලිහිල් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වෙසක් කාඩ්පත් නඩුව යළි කැඳවීම ලබන 11 වැනිදාට
මේ අතර, සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කර රජයට රුපියල් 1,28,520ක පාඩුවක් සිදුකළ බවට පියංකර ජයරත්න ට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල හමුවේ අද (01) කැඳවිණි.
එහිදී පැමිණිල්ලේ 11 වන සාක්ෂිකරු සාක්ෂි ලබාදුන් අතර, අදාළ සාක්ෂි වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා අල්ලස් කොමිසමට නියෝග කළේය. එම නඩුව ලබන 11 වන දින යළි කැඳවීමට නියමිතය.




