සංස්කෘතික අනන්‍යතාව සහ දේශීය ව්‍යවසායකයන් සුරකින නව දේශපාලන බලවේගයක අවශ්‍යතාව නාමල් රාජපක්ෂ අවධාරණය කරයි
රටේ ජනගහනයෙන් අඩක් මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පසුවන බවට පවතින වාර්තා සහ ජනාධිපතිවරයා කෙරෙහි 75%ක ප්‍රසාදයක් පවතින බවට පළවන සමීක්ෂණ දත්ත අතර පරස්පරතාවයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ජූලි 19 වන දින පුත්තලම ප්‍රදේශයේ පැවැති කොට්ඨාස රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මහජනතාව ජීවන වියදම් පීඩනයෙන් මිරිකෙමින් සිටින වටපිටාවක මෙවැනි වාර්තාවල සත්‍යතාව පිළිබඳව ප්‍රශ්න මතුවන බවයි.
ජීවන වියදම, ආර්ථික පීඩනය සහ සෞඛ්‍ය අර්බුදය

වත්මන් පාලනය යටතේ ජනතාව මත අසීමිත බදු බරක් පටවා ඇති බවත්, ඉන්ධන සහ විදුලි බිල ඉහළ නැංවීම මඟින් ජන ජීවිතය මෙන්ම කර්මාන්ත ශාලා සහ දේශීය ව්‍යාපාර ද දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.
කොවිඩ් වසංගත සමයේදී පවා ව්‍යාපාර සහ රැකියා ආරක්ෂා කිරීමට පියවර ගත් නමුත්, වර්තමානයේ දේශීය ව්‍යවසායකයන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගනිමින් ආර්ථිකය අඩපණ කරන බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර රෝහල්වල ඖෂධ හිඟයක් ද පවතින බව පැවසු නාමල් රාජපක්ෂ, මහජන සෞඛ්‍ය සහ මූලික යටිතල පහසුකම් පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමු නොවන බවට ද චෝදනා කළේය.
බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් සිදුවූ පාඩුව විදුලි බිල ඉහළ නැංවීම මඟින් ජනතාවගෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දේශපාලන සංස්කෘතිය සහ ඉදිරි වැඩපිළිවෙළ
වෙනසක් සහ නව දේශපාලන සංස්කෘතියක් පොරොන්දු වෙමින් බලයට පැමිණි පාලනය, වර්තමානය වන විට රටේ සාම්ප්‍රදායික සංස්කෘතික හා ආගමික අනන්‍යතාවයෙන් ඈත්ව කටයුතු කරන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය සහ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගනිමින් සිදුවන මැදිහත්වීම් මඟින් සමාජීය සංහිඳියාවට හානි සිදුවන බව ද හෙතෙම අවදාරණය කළේය.
තමන් මුහුණ දුන් සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් යුද්ධය නිමා කිරීම, අධිවේගී මාර්ග, වරාය සහ නෙළුම් කුළුණ වැනි යටිතල පහසුකම් ගොඩනැඟීමට මහින්ද රාජපක්ෂ ගේ පාලන සමයේදී කටයුතු කළ බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ, අතීතයට සාප කිරීම වෙනුවට අනාගත පරම්පරාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය.
රටේ දේශීය සංස්කෘතිය, ජාතික අනන්‍යතාව සහ මනුෂ්‍යත්වය සුරකින, නූතන තාක්ෂණය සමඟ ඉදිරියට යා හැකි ශක්තිමත් දේශපාලන බලවේගයක් ගම් මට්ටමින් ගොඩනැඟීමට එක්වන ලෙස ද හෙතෙම සියලු දේශපාලන පාර්ශ්වයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.




